කොළඹ කන්ටේනර් වරාය අධිකාරියෙන් වැටෙයි

455

69% ක්ම වැඩ පෞද්ගලික අංශයේ

කොළඹ වරාය තුළ 2021 වර්ෂය තුළ දී බහාලුම් මෙහෙයවීමේ කාර්යයන්ගෙන් සියයට 69 ක්ම සිදුකොට ඇත්තේ පෞද්ගලික සමාගම් දෙකක් වන අතර මේ වන විට බහාලුම් මෙහෙයවීමේ කාර්යය වරාය අධිකාරියෙන් ක්‍රමානුකූලව ගිලිහී එය පෞද්ගලික අංශය විසින් නතුකර ගනිමින් සිටින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2021 වර්ෂයේදී කොළඹ වරාය තුළ සමස්ත බහාලුම් හැසිරවීමේ දී වරාය අධිකාරිය සියයට 30 ක්ද, දකුණු ආසියානු පිවිසුම් පර්යන්ත සමාගම සියයට 25 ක්ද, කොළඹ ජාත්‍යන්තර පුද්ගලික බහාලුම් පර්යන්ත සමාගම සියයට 45 ක ඉහළම දායකත්වය ලබාගෙන තිබූ බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි. කොළඹ වරාය තුළ වරාය අධිකාරියේ බහාලුම් මෙහෙයවීමේ වෙළෙඳපොළ කොටස 2001 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වූ කාලය තුළ සියයට 81 සිට සියයට 30 දක්වා පහත වැටී තිබුණි. කොළඹ වරාය තුළ තරගකාරීව කටයුතු කරන පෞද්ගලික සමාගම් වන දකුණු ආසියානු පිවිසුම් පර්යන්ත සමාගම එම කාලයේදී බහාලුම් මෙහෙයවීමේ වෙළෙඳපොළ කොටස සියයට 19 සිට සියයට 51 දක්වා ක්‍රමයෙන් වැඩිකරගෙන පසුව සියයට 25 දක්වා පහත වැටී තිබුණි. මෙම කාලයේදී කොළඹ ජාත්‍යන්තර පුද්ගලික බහාලුම් පර්යන්ත සමාගම බහාලුම් මෙහෙයවීම සියයට 01 සිට සියයට 44 දක්වා ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගෙන තිබුණි.

කොළඹ වරායේ 2021 වර්ෂය වන විට බහාලුම් හැසිරවීම ඇතුළු මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලබන පර්යන්ත 05 ක් පැවතුණි. ඉන් ජයබහාලුම් පර්යන්තය, සමගි බහාලුම් පර්යන්තය, නැගෙනහිර බහාලුම් පර්යන්තය, පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුවන අතර අනිකුත් පර්යන්ත දෙක වන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය හා දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය පෞද්ගලික ආයතන දෙකක් වෙත සියයට 85 ක අයිතිය මත වසර 35 ක ඉදිකිරීම් මෙහෙයවීම හා පැවරීම යටතේ බදු දී තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment