කොළඹ කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි සිද්ධස්ථානයේ මංගල්‍යය ජුනි 12-13

298

කොළඹ කොච්චිකඩේ අසිරිමත් පාදුවා හි ශු. අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය ජුනි 12-13 යන දෙදින උත්සවාකාරයෙන් පැවැත්වීමට සිද්ධස්ථානයේ පරිපාලක ලලිත් පෙරේරා හා සහයක පියතුමන් අභිමානයෙන් යුතුව සියලු විධිවිධාන යොදා ඇත.

මෙවර විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකීය සියලු ආගමික භක්තිකයන්ගේ ගෞරවයට පාත්‍රවී ඇති ශු. අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිමාවේ 200 වන සංවත්සරය ද යෙදී තිබීමයි.

මංගල්‍යය සඳහා සූදානම් වීමේ නොවාන හා දිව්‍ය පූජා කොළඹ අගරදගුරු පදවි විශ්වාස ප්‍රවර්ධන කණ්ඩායමේ මෙහෙයවීමෙන් ජුනි 12 වන ඉරිදා සවස 7.00 ට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් සන්iා මෙහෙය (වෙස්පර්ස්) පැවැත්වේ.

මංගල්‍යය දින ජුනි 13 වන සඳුදා පෙ.ව. 4.00 ට සහ 9.00 ට දමිළ භාෂාවෙන්ද, පෙ.ව. 5.00 ට සහ 7.00 ට සිංහල භාෂාවෙන් ද දිව්‍ය පූජාවන් පැවැත්වේ. එදින මංගල මහා පූජාව පෙ.ව. 8.00 ට දමිළ බසින් කොළඹ සහයක රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ද, පෙ.ව. 10.00 ට මංගල මහා යාගය කොළඹ සහයක රදගුරු අති උතුම් මැක්ස්වල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල බසින් ද, එදින මංගල මහා දිව්‍ය පූජාව ඉංග්‍රීසි බසින් කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ. ඩී. ඇන්තනි ජයකොඩි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වේ.

එදින සවස 5.00 ට ආශ්චර්යමය ප්‍රතිමාව රැගත් පෙරහැර ආරම්භ වෙයි. සවස 8.00 ට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් ආශ්චර්යමත් ප්‍රතිමාවෙන් ආසිරි ගැන්වීම සිදුකරයි.

ශ්‍රී ලාංකේය කතෝලික සැදැහැවත් ජනතාවගේ ආදරය දිනූ ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ට කැපකළ දෙව්මැඳුරු අතරින් කොච්චිකඩේ සිද්ධස්ථානයට හිමිවන්නේ අද්වීතීය ස්ථානයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. මෙම සිද්ධස්ථානයට මාසයේ සෑම පළමුවන අඟහරුවාදා දිනකම විශාල වශයෙන් සැදැහැවත්හු නොයෙක් දෙසින් පැමිණෙති.

මේ සිද්ධස්ථානය හා බැඳී ඇති ආශ්චර්යමත් පුරාවෘත්තය අපට කිසිදා අමතක කළ නොහැක. ක්‍රි.ව. 1543 දී බුවනෙකබාහු රජතුමාගේ ඇරයුම පරිදි අප දිවයින තුළ කතෝලික දහම ප්‍රචාරය කිරීමට පෘතුග්‍රීසීහු අවසර ලදහ. ඔවුන් තුළ සාන්ත අන්තෝනි මුනිඳුන් කෙරෙහි පැවැති භක්ති ආදරය හේතුවෙන් එම භක්තිය දිවයින තුළ ප්‍රචාරය කිරීමට නැඹුරුවක් තිබුණ බව පැහැදිලි වෙයි. ඕලන්ද ජාතිකයෝ සිරිලක ආක්‍රමණය කිරීමත් සමගම මෙරට කතෝලික දෙව්මැඳුරු විනාශ කළහ. ආගම ඇදහීමට තහංචි දැමූහ. සැදැහැවත්හු අසරණ තත්ත්වයට පත්වූහ. මෙය කනවැකුණු අන්තෝනියෝ කොච්චියාල් නමැති පියතුමා මෙම ජනතාවට පිහිටවීමට එතුමන්ගේ ශ්‍රේෂ්ඨ පියතුමන් වූ ගෞරවනීය ජාකොම් ගොන්සාල්වෙස් පියතුමන්ගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම අවසානයේ ජය ගත්තේය.

අවසරය ලැබීමත් සමගම මාළු වෙළෙන්දකු සේ වෙස් වළාගෙන මාළු බාන්න (අද බැලිබන් වීදීයේ) මාළු වෙළෙන්දකුගේ නිවසෙහි පදිංචි විය. උදේ කාලයෙහි මාළු වෙළෙඳාමේ යෙදෙමින් කතෝලිකයන් සොයාගෙන රාත්‍රි කාලයෙහි ඔවුන් උදෙසා දිව්‍ය පූජාව පැවැත්වීය. ඔවුන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කළේය. පසුව එතුමන්ට විවිධ පීඩා පැමිණියෙන් මෝදර දෙසට සංක්‍රමණය විය.

ඒ සමගම මුහුද ගොඩගැලීමෙන් මූදූකෑම නිසා ධීවරයෝ අසරණව සිටියහ. කොච්චියාල් පියතුමා හඳුනන ධීවරයෝ මේ ගැන දෙවිඳු යදින ලෙස එතුමන්ගෙන් ඉල්ලූහ. එතුමා එම ඇරයුම පිළිගෙන තම කුරුසිය මුදුනත ස්ථානයක සිටුවා මහත් භක්තියෙන් දෙවිඳු යැදීය. ප්‍රාතිහාර්යාත්මක අන්දමින් එතෙක් පැවැති මුහුදුකෑම නතර විය. ඕලන්දයෝ ද මෙය දැක සතුටට පත්ව කැමැති ඉල්ලීමක් ඉල්ලන ලෙස කොච්චියාල් පියතුමාට දැන්වීය. එතුමාගේ ඉල්ලීම වූයේ තමන් කුරුසිය සිටුවූ ස්ථානයේ පැල්පතක් තනාගෙන ජීවිතාන්තය දක්වා සිටීමට අවසර ලබාදෙන ලෙසය. අවසරය ලැබුණි. ඉදිවූ පැල්පත දිවා කාලයේ කඩයක් විය. රාත්‍රි කාලයේදී ආත්මික අවශ්‍යතාවන් ඉටුකරන තැනක් විය. මෙය ‘කොච්චියාල් කඩේ‘ යනුවෙන් ප්‍රකට විය. පසුව කොච්චිකඩේ යනුවෙන් භාවිතා විය.

ඩික්සන් ඇන්තනි පෙරේර, ජූඩ් හෙට්ටිආරච්චි, ජෝ. සංගපාලආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment