කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුව්යගේ ගෙල සිඳී

812

ඝාතක සරසවි පෙම්වතා පැය 4න් අල්ලයි

ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මත කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක කොළඹ තුරඟ තරග පිටිය අසලදී ඊයේ (17 වැනිදා) දහවල් තියුණු ආයුධයකින් ගෙල කපා සාහසික අන්දමින් ඝාතනය කර පලා ගිය පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඝාතනය සිදුවී පැය 4ක් ගතවීමට පෙර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකාර පෙම්වතා කැලණි ගඟට පැන දිවි නසාගැනීමට උත්සාහ ගනිද්දී පොලිසිය විසින් එය වළකා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ විශ්වවිද්‍යාලයේම විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන සිසුවකු වන අතර ඔහුගේ නිවසේ තිබී පෙම්වතිය ඝාතනය කිරීමට යොදාගත් ලේ තැවරුණු පිහිය සහ පොත් බෑගය ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුව්යගේ ගෙල සිඳී

පොලිසිය ක්‍ෂණිකව ක්‍රියා නොකරන්නට සැකකාර පෙම්වතා ද දිවි හානිකර ගැනීමට ඉඩ තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිය පෙම්වතා අතින් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කිරිවත්තුඩුව හෝමාගම පදිංචිව සිටි 24 හැවිරිදි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති සිසුවියක බව පොලිසිය පවසයි.

ඊයේ දහවල් 12.30 ට පමණ මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා ද සමග කොළඹ තුරඟ තරග පිටිය අසල සිමෙන්ති පඩියක වාඩිවී කතා කරමින් සිට ඇත. එහිදී දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර පෙම්වතා තියුණු ආයුධයකින් ඇගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් තිබේ.

කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුව්යගේ ගෙල සිඳී

තුරඟ තරග පිටිය ආසන්නයේ මාර්ග පිරිසිදු කිරීමේ යෙදී සිටි පුද්ගලයකු මෙම සිසුවිය වැටී සිටිනු දැක ඒ බව පොලිසියට දැනුම්දී ඇත. සිද්ධිය සැලවූ වහාම පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනවිටත් සිසුවිය මියගොස් සිට ඇත.

සිසුවිය වැටී සිටි ස්ථානය රුධිරයෙන් නැහැවී ගොස් තිබූ අතර ඇගේ සිරුර පුරා රුධිරය ගලා ගොස් තිබූ බව පොලිසිය පවසයි. එම ස්ථානයේ තිබී සිසුවියගේ බවට සැක කරන පොත් බෑගය, ජංගම දුරකථනය සහ දින පොත පොලිසිය සොයාගෙන තිබේ.

පෙම්වතාගේ බවට සැකකරන ජංගම දුරකථනයක් ද එහි වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත.

මෙම ඝාතනයට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නැතත් ප්‍රේම සම්බන්ධය පිළිබඳව ඇති වූ ආරවුලක් ඊට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ඝාතනයට ලක්වූ හංසිකා 2019 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චතුරි හංසිකාගේ සමීප මිතුරු මිතුරියන් කීපදෙනකුගෙන්ම පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා කුරුඳුවත්ත පොලිසියේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment