කොළඹ – නුවර පාර තවදුරටත් පහළ කඩුගන්නාවෙන් වැසේ

2094

පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ ඇති වී තිබෙන නායයෑම් අවදානම අවම කිරීම පිණිස තවදුරටත් කටයුතු කරමින් සිටින බැවින් ඉදිරි දින කිහිපයේද කොළඹ – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ එම කොටස වසා තැබීමට සිදු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.

පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගය සහ මහා මාර්ගය පිහිටා ඇත්තේ මව් පාෂාණ මත බැවින් ඊට සෘජුව බලපෑමක් එල්ල නොවන බව ද, නමුත් මෙම මාර්ග ආරක්ෂා කර ගැනීම පිණිස අවට ප‍්‍රදේශයේ ඇති නායයෑම් අවදානම සඳහා විසඳුමක් ලබා දිය යුතු බව ද හෙතෙම කීය.

කන්දේ කොටසක් අධික වර්ෂාවත් සමඟ අස්ථාවර වී තිබෙන බවත්, එහි ඇතිව තිබෙන පැලූම් කිහිපයක් තුළට කන්ද මුදුනේ සිට පැමිණි ජල පහර ඇතුළු වී පහළට පැමිණ තිබෙන බවත් පැවසූ ඒ මහතා, එම පැලූම් කිහිපය වසා දැමීම මුලින්ම කළ යුතුව තිබෙන බවත් කීය. ප‍්‍රධාන මාර්ගයට ඉහළින් ඇති බෑවුම් සහිත ප‍්‍රදේශයේ පිළිබඳ දැඩි අවධානයක් යොමුකර ඊට විසඳුම් ලබාදීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමට කටයුතු යොදනු ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් වර්ෂා සහිත කාලගුණයක් පවතින බැවින් එහි පර්යේෂණ කටයුතු සහ යථා තත්ත්වයට ගැනීම් සඳහා වන කටයුතුවලට බාධා පැමිණ ඇති බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා, සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවද කීය.

පහළ කඩුගන්නාව කන්දේ ජල බැස්ම විධිමත් කර ස්ථාවර කළ යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 1999 වසරේදී නිර්දේශ ඉදිරිපත් කළත් ඒවා ක‍්‍රියාත්මක නොවීම අද ඇතිව තිබෙන ගැටලූවට මූලික හේතුව බව එම ආයතනයේ භූ තාක්ෂණ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ කේ. එන්. බණ්ඩාර මහතා කියා සිටියේය.

මේ ආකාර අස්ථාවර බෑවුම් ඇති ස්ථාන ගණනාවක් සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ ලබා දී තිබෙන බවත්, එම නිර්දේශ බොහොමයක් ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවීම ලංකාවේ දක්නට ලැබෙන ගැටලූවක් බවත් ඒ මහතා කීය.

පහළ කඩුගන්නාවේ අවදානම් බෑවුම ඉහළ දුම්රිය මාර්ගය දක්වාම විහිදී තිබුණත් ඉන් දුම්රිය මාර්ගයට කිසිදු ගැටලූවක් ඇතිව නොමැති යැයි අවධාරණය කළ අධ්‍යක්ෂවරයා ඉහළට ඇති කන්ද ඉතා සුළු ප‍්‍රමාණයක් පහළට තල්ලූ වී ඇති බවත්, ප‍්‍රධාන මාර්ගයට හෝ ඉන් පහළට කොටසට ඉන් බලපෑමක් එල්ල වී නොමැති බවත් පැවසීය.

අධික ලෙස ජලය උරා ගෙන තිබෙන පස් තට්ටුව තුළට අංශක 10 ක ආනතියකින් යුත් තිරස් විදුමක් සිදුකර නළ ආධාරයෙන් එහි ඇති ජලය පිටතට ගැනීමට පියවර ගෙන තිබෙන බවත් අදාළ ස්ථානයේ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කෙටි කාලීන විසඳුමක් ලෙස ක‍්‍රියාත්මක මෙම වැඩපිළිවෙළින් අනතුරුව දිගු කාලීන විසඳුම් ඉදිරිපත් කරන බවත් ඒ මහතා කීය.

නායයෑමේ අවදානමට ලක්ව තිබෙන පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානය ස්ථාවර කිරීමේ කටයුතුවල නිරතව සිටින අතර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙම පිරිස පෙරේදා (13දා* මේ බව ප‍්‍රකාශ කළහ.

සමන්ති වීරසේකර – සිරිල් විමලසුරේන්ද

advertistmentadvertistment
advertistmentadvertistment