කොළඹ – නුවර පාර දළුගමින් වසාගෙන අන්තරේ විරෝධතාවේ

123

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත යන තිදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගය ඊයේ (18 දා) දළුගම ප්‍රදේශයෙන් අවහිර විය.

අන්තරේ විරෝධතාකරුවන් පාගමනින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට කිරිබත්ගොඩ දෙසට ගමන් කරන අතරතුර පොලිසිය එම පාගමන ඉදිරියට යෑමට ඉඩලබා දුන්නේ නැත. පොලිස් නිලධාරීහු දම්වැලක් ලෙස මාර්ග බාධක යොදා මාර්ගය වසා රැඳී සිටියහ.

කොළඹ - නුවර පාර දළුගමින් වසාගෙන අන්තරේ විරෝධතාවේ
කොළඹ - නුවර පාර දළුගමින් වසාගෙන අන්තරේ විරෝධතාවේ

පසුව විරෝධතාකරුවන් ආපසු හැරී විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණ විරෝධය දැක්වූ අතර, මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 3 කට අධික කාලයක් සම්පූර්ණයෙන්ම ඇන හිටියේය. වාහන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය උපදෙස් ලබා දුන්නේය.

විරෝධතාව සඳහා විශ්වවිද්‍යාල සිසුන් දහසකට අධික පිරිසක් එක්ව සිටි අතර සිසුන් දසදෙනකු පමණ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ආකාරය දක්නට ලැබිණි.

එම අත්අඩංගුවට ගත් පිරිස අතර කැලණිය විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායකද වෙති. පුවත්පත මුද්‍රණයට යන විටත් අන්තරේ විරෝධතාකරුවන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධය පළකරමින් රැඳි සිටි අතර අනෙක් පසින් බැටන් පොලු අතැතිව පොලිස් නිලධාරීන් ද රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.

ඡායාරූප – නිශාන් එස් ප්‍රියන්ත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, මංගලා මදුරප්පෙරුම සහ ධම්මික සල්වතුර,

advertistmentadvertistment
advertistmentadvertistment