කොළඹ පුරපති අභියෝග කුසලාන දැල් පන්දු ශූරතාව යුද හමුදාවට

199

ඉකුත් සති අන්තයේ කොළඹ බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී ක‍්‍රියාත්මක කෙරුණු ආරාධිත මිශ‍්‍ර දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද ‘‘කොළඹ පුරපති අභියෝග කුසලාන’’ තහවුරු කර ගැනීමට යුද හමුදාව නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

ලීග් ක‍්‍රමයට පැවති මූලික වටයේ සිටම තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වෙමින් ශූරතාව තහවුරු කර ගත් යුද හමුදාවට මුදලින් රුපියල් 10,0000/= ක් පිරිනැමීමට සංවිධායකයන් වූ කොළඹ මහ නගර සභාවේ ක‍්‍රීඩා හා විනෝදාංශ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

ජයග‍්‍රාහී කණ්ඩායම් වෙත තිළිණ ප‍්‍රදානය කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය අතින් සිදුකෙරුණි.

පෙරළිකාර ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් මෙවර තරග මාලාවේ අනු ශූරතාව තහවුරු කර ගැනීමට කෑගල්ල දිස්ත‍්‍රික් කණ්ඩායමට හැකි වූ අතර නාවික හමුදාවට දෙවන අනු ශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.

අවසාන පූර්ව වටයේදී මෙන්ම ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දී ද පරාජය ලැබූ රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායමට සිව් වැනි ස්ථානය හිමි විය.

මෙම තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස භාරත රණතුංග (යුද හමුදාව* සම්මාන ලබන අතර වාරයේ දී යුද හමුදාව නියෝජනය කළ ඉමාෂී සෙව්වන්දි දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

යුද හමුදාව සහ කෑගල්ල යන දෙපිල අතර පැවති තීරණාත්මක අවසාන තරගයේ දී ලකුණු 41- 37 ක් ලෙස ජයග‍්‍රහණය සටහන් කර ගන්නට යුද හමුදාවට හැකි විය. පළමු කාර්තුව අවසානයේ දී ලකුණු 11 – 11 ක් ලෙස සම තත්ත්වයක පසුවන්නට හැකි වුවද දෙවන කාර්තුවේ දී ලකුණු 12 – 08 ක් ලෙස පෙරමුණ ගැනීමට යුද හමුදාවට හැකි විය. තෙවන කාර්තුවේ දී ලකුණු 10 – 08 ක් ලෙස ඉදිරියට යන්නට කෑගල්ලට හැකි වුවද එම තත්ත්වය සිව්වැනි කාර්තුවේ දී ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පරාජය අත්විඳීමට සිදු විය. එහිදී ලකුණු 10 – 08 ක ජයග‍්‍රහණයක් යුද හමුදාව සතු විය.

මෙම අවසන් තරගය බුද්ධික සූරියබණ්ඩාර මහතා සහ ධරණී තරංගා මහත්මිය විසින් විනිශ්චය කරන ලදී.

රත්නපුර කණ්ඩායම ලකුණු 43 – 31 කින් පරාජය කළ නාවික හමුදාවට තෙවන ස්ථානය හිමි විය.

අවසන් පූර්ව වටයේ දී යුද හමුදාව හමුවේ ලකුණු 36 – 19 කින් රත්නපුරය ද කෑගල්ල හමුවේ ලකුණු 39 – 31 කින් නාවික හමුදාව ද පරාජය ලැබීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment