කොළඹ පුරපති සටනත් උණුසුම් වෙයි – රෝසි දෙලොවක් අතර – මුජිබර් රහුමාන් සජබ පුරපති අපේක්‍ෂකයා ලෙස

349

ශ්‍රීලනිපයේ විපක්‍ෂ නායක – මන්සිල් ස්වාධීනව
නිදහස් ජනතා සන්ධානයෙන් වෙනම අපේක්‍ෂකයෙක්
මාලිමාවෙනුත් වෙනම කණ්ඩායමක්

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා මෙවර උණුසුම් තරගයක් නිර්මාණය වෙමින් පවතින බව ඊයේ (15 දා) වනවිට දක්නට තිබිණි.

මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව සජබ නගරාධිපති අපේක්‍ෂක තරගයට පිවිසීමත්, කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂ නායක ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරු දැරූ එම්. එච්. මන්සිල් මහතා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වීමත්, නගරාධිපතිනිය ලෙස කටයුතු කරන රෝසි සේනානායක මහත්මියට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව අවසන් එකඟතාවකට නොපැමිණීමත් නිසා මෙවර තරගය දැඩි උණුසුම් තත්ත්වයකට පත්ව තිබේ. මීට අමතරව නිදහස් ජනතා සන්ධානයද හෙලිකොප්ටරය ලකුණ යටතේ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරගෙන සිටී.

කොළඹ මහ නගර සභා ඉතිහාසය ගෙන බැලීමේදී මෙතෙක් එක්සත් ජාතික පක්‍ෂයෙන් පමණක් නගරාධිපතිවරුන් පත්ව ඇත. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් හිටපු ඇමැතිවරයකු වූ ෆයිසර් මුස්තාපා මහතාද ඉදිරිපත්වීමට නියමිත බවට වාර්තා වේ. ජාතික ජනබලවේගය පක්‍ෂයද කණ්ඩායමක් ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල කටයුතු කරමින් සිටින බව එම පක්‍ෂයේ නීතිඥ සුනිල් වටගල මහතා කීය.

නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත්වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා ‘දිවයින’ට මෙසේ පැවසීය.

මම පාර්ලිමේන්තුවෙන් ඉවත්වී නගරාධිපති ධුරය සඳහා තරග කිරීමට නියමිතව සිටිනවා. මම කොළඹ ඉපදිලා කොළඹ ජනතාවගේ ජීවන රටාව, අඩුපාඩු, දුක හඳුනන දේශපාලකයෙක්. බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් දෙපාරක්ම ජනතාවට සේවය කළා. මම පත්වුණොත්, නගරාධිපති හමුවී ජනතාවගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දීමට තිබූ මහජන හමුව නැවත ආරම්භ කරනවා. එතුළින් ජනතාවට විශාල සේවයක් කරන්න පුළුවන්. කවුරු නගරාධිපති වුණත් එය නැවත ජනතාවට ලබාදිය යුතු බව මම ප්‍රකාශ කරනවා.

විපක්‍ෂ නායක ලෙස කටයුතු කරන එම්.එච්. මන්සිල් මහතා:-

මම අවුරුදු 35 ක පමණ සිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලන කටයුතුවල නිරත වෙනවා. ඉන් අවුරුදු 25 ක්ම එම පක්‍ෂයේ ඉහළ තනතුරුවල සිටියා. මම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික, ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත සංසදයේ සභාපති වැනි තනතුරු දරුවා.

මේ පක්‍ෂයේ තවදුරටත් රැඳී සිට ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි බව මට පෙනී ගියා. විශේෂයෙන් තරුණ කොටස් ඉල්ලන්නේ සැබෑ වෙනසක්. එය ඇති කිරීමට නම් පක්‍ෂවලින් මිදී ස්වාධීනව කටයුතු කරන්න ඕනෑ බව මට වැටහුණා. දැනට සිටින නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහ හිටපු නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මා සමග එක්ව ස්වාධීනව තරග කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් විමසීමට රෝසි සේනානායක මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ විය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය හිමි එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා:-

මේ වනවිට එජාපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමග මැතිවරණයට අපේක්‍ෂකයන් තෝරා ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් ඉන්නවා. මේ වෙනකම් කොළඹ මහ නගර සභාව හෝ අනෙකුත් නගර සභා හෝ ප්‍රාදේශීය සභා සඳහා තරග කරන අවසන් නම් ලැයිස්තුවක් සකස් කර නැහැ. මේ වනවිට පක්‍ෂය විසින් දිස්ත්‍රික් සංවිධායක කමිටු මගින් වඩාත් වාසි සහගත ආකාරයට නම් ලැයිස්තු සකස් කරන ලෙස දැනුම්දී තිබෙනවා. එම දිස්ත්‍රික් කමිටුවලින් ගන්නා තීරණ අනුවී පක්‍ෂය විසින් අනුමැතිය දීම සඳහා මේ වනවිට සලකා බලමින් ඉන්නවා.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment