කොළඹ මහ නගර සභාවට කුළී සහ බදු රු. මිලියන 6,280ක් නොලැබී තිබියදී රථගාල් කොන්ත්‍රාත්කරුවන්ගෙනුත් රු. මිලියන 265ක පොල්ලක් – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි

83

2022 වර්ෂයේ අයවිය යුතු රුපියල් මිලියන 6,280.50 ක් කොළඹ මහ නගර සභාවට ලැබී නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී 2021 වර්ෂයේ මුළු හිඟ ආදායම රු. මිලියන 5,835.6 ක් බවද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 ක් බවද, 2019 වර්ෂයේ 4,481.5 බවද අනාවරණය විය. මෙහිදී වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බව හඳුනාගැණිනි.

මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිඟ බදු පවතින දේපළ අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එසේම ඇතැම් දේපළවල හිමිකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, මහා නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිඟවීමත් මෙම මුදල් අයකර ගැනීමේදී බලපා ඇති බවයි.

පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහාද වරිපනම් අංක ලබාදී ඇති බවයි. මේ අනුව කමිටුව නිර්දේශ කළේ 2023 ජුලි මස 06 දින වන විට මෙම මුදල් අයකරගැනීමට දින වකවානු සහිතව වැඩපිළිවෙළක් සකස් කොට සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙසයි.

එසේම රථගාල් ගාස්තු අය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන විසින් නගර සභාවට ගෙවිය යුතු මාසික කුලී මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බවත් 2021 දෙසැම්බර් 31 දින වන විට ආයතන 38 කින් අයකරගත යුතු හිඟ ගාස්තු ආදායම රු. මිලියන 265 ක් බවත් අනාවරණය විය.

තවද මෙහිදී කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පිළිබඳවද සාකච්ඡා වූ අතර මෙම අංශයේ සේවය අගය කරන බවද ශ්‍රී ලංකාව පුරා මෙය ව්‍යාප්ත විය යුතු බවද කෝපා කමිටුවේ සභාපතිවරයා පැවසීය. එසේම මෙහිදී සඳහන් වූයේ උස මහල් 20ක් පමණ වන තෙක් ගොඩනැලඟිලිවල ගිනි නිවීමට මෙම අංශයට පහසුකම් පවතින බවයි. මෙහිදී කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මහල් 20 ඉක්මවන ගොඩනැඟිලිවල ගින්නක් ඇති වුවහොත් ගුවන් හමුදාවේ සහයෝගය ලබාගැනීම වැදගත් වන බවයි. මේ නිසා ගුවන් හමුදාව සමග සම්බන්ධීකරණය වැඩිකරගැනීමට කෝපා කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය. තවද ගිනි නිවන ඒකකයේ පවතින පුරප්පාඩු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

එසේම විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබා නොගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදු විය. මේ අනුව මේ සඳහා විධිමත් ක්‍රියාවලියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සහ එය නිවැරදිව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන ලදී.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment