කොළඹ මැදින් මතුවූ කිඹුලා ඇළ ගුණාගේ කුඩු බංකරය

405

drugs2බටේ කටේ තැබූ කුඞ්ඩා ජීවිතයේ කිසිදාක එය අත්නොහරින්නාක් සේම, කුඞ්ඩාගේ ජීවිතයට ඒ ඉරණම අත්කර දෙමින් ෂොට් එක ඇද අපාගත ලොවක පාවෙන්නට පැකට් දෙන එකාද කිසි දිනෙක එය අතහරින්නේ නැත.

 මෙය කාලාන්තරයක සිට මෙරට කුඞ්ඩන් හෙවත් මත්කුඩු උරන කුඩු ලෝලීන් අතර පවතින ප‍්‍රකට කියමනකි. එසේම එය ඇත්ත කතාවකි. මෙරට මත්කුඩු ජාවාරමේ මුල්බීජ පැළ වූ සොත්ති උපාලිලා, තුම්මුල්ලේ පද්මෙලා සහ නාවල නිහාල්ලා රජ කළ ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ යුගයේ සිට එය එසේම සිදු විය.

 අදත් එය එසේම සිදුවන බව සනාථ කරන්නට හැකි පැහැදිලි උදාහරණයක් රටට පෙන්වා දෙන්නට හැමදාමත් රට වෙනුවෙන් කැපවූ පොලිස් විශේෂ කාර්ය බළකාය ඉකුත්දා සමත් විය.

 ඒ පොලිස් විශේෂ කාර්ය බළාකයේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකයේ ප‍්‍රධානී සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානී ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධර්මපි‍්‍රය ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කළ මෙහෙයුමකදීය.

 කොළඹ ආදුරුප්පු වීදිය ප‍්‍රදේශයේදී ඉකුත් 17 වැනිදා රාති‍්‍රයේ එම මෙහෙයුම දියත් කෙරිණි. එහිදී ආදුරුප්පු වීදියේ නිවසකට කඩා වැදුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු කිඹුලාඇළේ ගුණාගේ සොහොයුරකු වන සින්නයියා සුරේෂ් මෙහෙයවූ බව කියන කුඩු ජාවාරමකට අයත් මත්කුඩු තොගයක් සොයා ගැනීමට සමත් වූහ.

  මේ වන විට සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලාඇළේ ගුණා සම`ග ඉන්දියාවට පැන ගොස් සිටින ගුණාගේ සොහොයුරු සින්නයියා සුරේෂ් යන දෙදෙනාම සිටින්නේ කුඩු ජාවාරම් කිරීමේ සිද්ධීන් හේතුවෙන් ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතවය. එහෙත් එසේ බන්ධනාගාරගතව සිටිය ද අදටත් මහා පරිමාණයෙන් සිය ජාවාරම් මෙහෙයවන්නට කිඹුලා ඇළේ ගුණා මෙන්ම ඔහුගේ සොහොයුරු ඇතුළු එකී ජාලයට අයත් සියල්ලෝ ප‍්‍රබලව සිටින්නාහ. මේ කිඹුලාඇළේ ගුණා යනු කවරෙක්ද? ගුණා ඇතුළු සින්නයියා පවුලේ සාමාජිකයන් වතුකරයේ සිට කොළඹට සංක‍්‍රමණය වන්නේ මීට දශක කිහිපයකට ඉහතදීය. එකල කොළඹ නගරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ කි‍්‍රයාවලියේ කටයුතු කිරීම, තදාසන්න ප‍්‍රදේශවල පැවති කීර කොටුවල සේවය කිරීම ඇතුළු විවිධ සුළු රැකියාවල යෙදීම එසේ වතුකරයේ සිට කොළඹට සංක‍්‍රමණය වූ දෙමළ ජාතිකයන්ගේ සිරිත විය. කොළඹට පැමිණීමෙන් පසු මෝදර කිඹුලා ඇළ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ගුණා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ මුල් රැකියා බවට පත්ව තිබුණේ එසේ කටයුතු කිරීම විය.

 එහෙත් එසේ සිටියදී පසු කාලීනව දැඩි වෙහෙසක් දරා කුඩා බෝට්ටුවක් මිලදී ගත් සින්නයියා පවුලේ වැඩිමලා වූ සින්නයියා විජේරංජන් හෙවත් කිඹුලා ඇළේ ගුණාගේ වැඩිමල් සොහොයුරා වෙනත් රැකියාවකට අත ගැසීය.

 එකී රැකියාව වූයේ මිලදී ගත් බෝට්ටුව යොදාගෙන මෝදර මුහුදු තීරය හරහා ඉන්දදියාවේ සිට හොරබඩු ජාවාරමේ යෙදීම විය. වැඩිකලක් නොගිහින්ම සින්නයියා විජේරංජන් එම ජාවාරමෙන් යහමින් මුදල උපයන්නට වූ අතර පසුව තවත් බෝට්ටු කිහිපයක් මිලදී ගෙන හොරබඩු ජාවාරම මෙන්ම මුහුදු මාර්ග ඔස්සේ ඉනදියාවේ සිට මත්කුඩු මෙරටට පොම්ප කිරීමේ ජාවාරම ද ඇරඹීය. කිඹුලා ඇළේ ගුණා මේ රටේ කුඩු ජාවාරමේ එක් ගෝඞ් ෆාදර් කෙනෙකු වන්නේ එසේය. එය මෙරට තුළ මත් කුඩු ජාවාරමේ මුල් බීජ පැළ වූ යුගය යැයි කිවහොත් එහිද වරදක් නැත. මෙසේ කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදල් යොදවා පසු කලෙක කල්පිටිය ප‍්‍රදේශයේ ඉස්සන් කොටු කිහිපයක්ද ආරම්භ කළ ගුණා කල්ලිය එය ද සිය කුඩු ජාවාරමේ තවත් එක් උපක‍්‍රමික ව්‍යාපාරයක් බවට පත් කරගනු ලැබීය.

 මෙසේ කිඹුලා ඇළේ ගුණා කල්ලිය දිනෙන් දින කුඩු ජාවාරමේ ඉදිරියට යද්දී මේ රටේ දේශපාලනයේ සහාය ද නොඅඩුව කිඹුලා ඇළේ ගුණාට හිමිවූ අතර එකල කොළඹ දෙමළ පාතාලයේ කෙරුමෙකුව සිටි තෙල් බාලාගේ කණ්ඩායම ද ගුණාලට එක් විය.

 එසේ තෙල් බාලා එක්වීමෙන් පසු සින්නයියා විජේ රංජන්, සින්නයියා සුරේෂ්, සින්නයියා ගුණාස්කරන් නොහොත් කිඹුලා ඇළේ ගුණා යන සහෝදර කල්ලියේ ශක්තිය තව තවත් වැඩි වූ අතර තෙල් බාලාගේ සහායෙන් ඒ වන විට උතුරේ කි‍්‍රයාත්මක වූ එල්ටීටීඊ සංවිධානය සමග ද සබ`දතා ගොඩන`ගා ගන්නට ඔවුහු සමත් වූහ.

 එසේ ඇතිකරගත් එල්ටීටීඊයේ සබඳතා සමඟ වැඩි කලක් නොගොස් කිඹුලා ඇළේ ගුණා කල්ලිය අවි ආයුධවලින් ද සන්නද්ධ වූයේ මුළු කිඹුලා ඇළම සිය රාජධානිය බවට පත්කර ගනිමිනි. එතෙක් කිඹුලා ඇළේ බලය පතුරවාගෙන සිටි පෑලියගොඩ හෙක්ටර්ට සිදු වූයේ සියල්ල හැරදා පලා යන්නටය. ඒ ගුණා කල්ලියෙන් එල්ලවූ ප‍්‍රහාර හමුවේය. මේ කාලය වන විට කොළඹ ප‍්‍රදේශයේ සිය හිතමිතුරු දේශපාලකයන් කිහිප දෙනකුට පෙළපාලි ස`දහා මිනිස්සු සැපයීම ද ගුණා විසින් සිදු කළ අතර 1994 දී කොළඹ පුරහල ජනාධිපතිවරණ වේදකාවේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වන්නේද ගුණාගේ එකී දේශපාලන සබ`දතා ඔස්සේය.

 එකල චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට බෝම්බ ප‍්‍රහාරය එල්ල කෙරුණේ කිඹුලා ඇළේ ගුණා විසින් මහා සෙනඟක් සම`ග භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා හිටපු ජනාධිපතිනියට සහාය පළ කිරීම ස`දහා කොළඹ පුරහලට රැගෙන ආ පෙළපාලියට මරාගෙන මැරෙන බෝම්බකාරිය රිංග වූ නිසාය.

 එල්ටීටීඊයෙන් ලැබුණු උපකාර හමුවේ ගුණා එය සිදු කළ බවට එකල අනාවරණය වීම හමුවේ පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කිඹුලා ඇළේ ගුණා දීර්ඝ කාලයක් රැ`දවුම් භාරයේ සිට සාක්‍ෂි නොමැති වීමෙන් නිදහස ලැබීය. ගුණා එසේ පොලිස් අත්අඩංගුවේ සිටියදී කුඩු ව්‍යාපාරය සින්නයියා විජේ රංජන් විසින් අඛණ්ඩව පවත්වාගෙන ගියද කොළඹ පාතාලයේ හිටපු කෙරුමකු වූ පි‍්‍රන්ස් කොළම්ස්ගේ ඉස්මතු වීමත් සම`ග දැඩි තර්ජනයක් ගුණා කල්ලියට එල්ල වීම නිසා නිදහස් වීමෙන් පසු කිඹුලා ඇළේ ගුණා කල්ලියේ ඒ වන විට ඉතිරිව සිටි පිරිස අවසානයේ ඉන්දියාවට පලා ගියේය.

 ප‍්‍රබල එල්ටීටීඊ සාමාජිකයකු ලෙස ආරක්‍ෂක අංශ හ`දුනාගෙන සිටි පුංගුඩි කන්නා, ඔහුගේ බිරි`ද සුදර්ශනී, රමේෂ්, සුදර්ශනීගේ සොහොයුරා, ජම්පටාවීදියේ රජ කළ පිච්චිච්ච සෙල්ලි ඝාතනය කළ බුම්මා, හැමදාමත් ගුණාගේ සමීපයේ සිටි තවත් ප‍්‍රබල එල්ටීටීඊ සාමාජිකයකු වන කෙනඩි සහ කිඹුලා ඇළේ පොඩි සුරේෂ් යන අය මේ වන විට කිඹුලා ඇළේ ගුණා කල්ලියේ සෙසු සාමාජිකයන් ලෙස ඉන්දියාවට පලා ගොස් සිටින්නෝ වන්නාහ.

 එසේ ඉන්දියාවට පලා ගිය ද පිච්චිච්ච සෙල්ලි ඝාතනය කිරීම හමුවේ අදටත් කොළඹ ජම්පටාවීදිය මෙන්ම ආදුරුප්පුවීදිය ඇතුළු අවට ප‍්‍රදේශයේ බලය පවතින්නේ කිඹුලා ඇළේ ගුණා ඇතුළු මෙම කල්ලිය අතේය.

 මෙම කල්ලියේ සාමාජිකයෝ වූ තවත් කිහිප දෙනකු අදටත් කොළඹ නගරයේ රහසිගතව ජීවත් වෙති. ඒ ව්‍යාපාරිකයන් සහ විවිධ රැකියාවන්හි යෙදෙන්නන් ලෙසිනි. ඔවුන්ගේ ව්‍යාපාර හා රැකියාවන්ගේ අවසන් කෙළවර තිබෙන්නේ කිඹුලා ඇළේ ගුණාට සම්බන්ධවය.

 සුවිශේෂී බුද්ධි තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ඉකුත් 17 වැනිදා දියත් කළ සුපිරි මෙහෙයුමකට අනුව ආදුරුප්පු වීදියේදී හසු වූයේ මේ කල්ලියේ කුඩු තොගයකි. එය මෙම කල්ලියට එල්ලවූ ප‍්‍රබල ප‍්‍රහාරයකි.

 මෙම මත් කුඩු තොගය කිඹුලා ඇළේ ගුණාගේ සොහොයුරු සුරේෂ්ගේ යැයි කියැවුණද එහි සෑබෑ හිමිකරු ගුණාගේ සොයුරු සින්නයියා සුරේෂ් ද නැතහොත් කිඹුලා ඇළේ පොඩි සුරේෂ් ද යන්න සොයා බැලීම මෙහිදී වඩාත් වැදගත් වන්නකි. මන්ද මෙරට කුඩු ජාවාරමට තිත තබන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව කරන කැපකිරීමේදී කිඹුලාඇළේ ගුණා කල්ලියේ ඉදිරි කෙරුවාවන් මෙන්ම එම කල්ලියේ අතු ඉති විහිදී තිබෙන අන්දම වටහා ගන්නට එම`ගින් මහ`ගු අවස්ථාවක් උදාවිය හැකි බැවිනි.

advertistmentadvertistment
advertistmentadvertistment