කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩ අරඹයි

129

ලක්ෂ 16 ක බහාලුම් මෙහෙයුම් ධාරිතාවක් ඉදිරියේදී එක්වේවි

කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (09 දා) ආරම්භ විය.

එම ඉදිකිරීම් කටයුතු කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත (පෞද්ගලික) සමාගම විසින් සිදු කරනු ලබයි.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘති පරිශ්‍රයේදී මෙම ඉදිකිරීම් කටයුතු ඊයේ පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 789 ක පමණ ආයෝජනයක් සිදු වේ.

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත (පෞද්ගලික) සමාගම ඉන්දියාවේ අදානි ජාත්‍යන්තර වරාය ඉදිකිරීම් සමාගම, ශ්‍රී ලංකාවේ ජොන් කීල්ස් ඉදිකිරීම් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන සමාගම්හි එකතුවෙන් ආරම්භ කර ඇත.

එහි කොටස්වලින් අදානි සමාගමට සියයට 51% ක්, ජෝන් කීල්ස් සමාගම සියයට 34% ක් සහ වරාය අධිකාරියට සියයට 15% ක්ද හිමිව ඇත.

බටහිර පර්යන්තයේ ඉදිකිරීම්හි පළමු අදියර යටතේ මීටර් 800 කින් යුතු පර්යන්තයක්ද ඉදිවේ. එහි අර්ධ ස්වයංක්‍රීය පර්යන්තය අද්දර දොඹකර 08 ක මෙහෙයුම් සඳහා යොදා ගනී.

පර්යන්තය තුළ බහාලුම් මෙහෙයුම් සඳහා සම්පූර්ණ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 18 ක් එක් කිරීමට නියමිතය. එසේම මුළුමනින්ම ස්වයංක්‍රීය ගේට්ටු සංකීර්ණයක්ද දත්ත විශ්ලේෂණ පද්ධතියක්ද ඉදිකිරීමට යෝජිතය. ඒ අනුව එම කොටසෙහි වසරකට ලක්ෂ 16 ක බහාලුම් මෙහෙයුම් ධාරිතාවක් එක්වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment