කොළඹ වරායේ බහාලූම් 4කින් කෝටි 600 ක කොකේන් එළියට එයි

145

පැනමාවෙන් එවා ඉන්දියාවට යවන්න සූදානම් කරලා

රුපියල් මිලියන 6000කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 300 කට ආසන්න ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රේගුවේ නිලධාරීහු ඊයේ (23 වැනිදා) පස්වරුවේ කොළඹ වරාය පරිශ‍්‍රයේදී අත්අඩංගුවට ගත්හ.

කොළඹ වරායේ බහාලූම් 4කින් කෝටි 600 ක කොකේන් එළියට එයි

පැනමා රාජ්‍යයේ සිට බෙල්ජියම, ඩුබායි හරහා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබූ බහාලූම් 4ක ට‍්‍රැවලින් බෑග් 10ක සඟවා තිබියදී මෙම කොකේන් තොගය රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා ඊයේ (23වැනිදා* පස්වරුවේ ‘දිවයින’ට පැවසීය.

අබලි ද්‍රව්‍ය ඇති බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර ඉන්දියාව වෙත ප‍්‍රතිඅපනයනයට සූදානම් කර තිබූ මෙම බහාලූම් 4 පිළිබඳව රේගුවේ බුද්ධි තොරතුරු ඒකකය විසින් රේගුවේ වරාය පාලන අංශය වෙත ලබාදුන් තොරතුරු මත මෙම බහාලූම් 4 පරීක්‍ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවද සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

රේගු අත්අඩංගුවට ගත් මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් (විශ‍්‍රාමික* මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ ශ‍්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂිකා ජානිනී විජේවර්ධන, රේගු අධිකාරීවරුන් වන කේ.එන්. ෂන්මුගදාස, රුක්මන් සහබ්ඞීන්, සහකාර රේගු අධිකාරීවරුන් වන හංසිනි කරුණාරත්න, කේ.එන්.බී.එන්. විජේපාල යන මහත්ම මහත්මීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

හේමන්ත රන්දුණු සහ ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment