කොළොම්තොට කලඑළිකරන නවම් මහ පෙරහැර

74

නව වසරක් උදාවී නවම් මහ එළැඹීමත් සමග කොළොම්තොට කලඑළි කරන බොදු මහා මංගල්‍යය ලෙසින් බුද්ධාලම්භන ප්‍රීතිය ජන හදවත් තුළ ජනිත කරන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහැර මෙවර ද ලබන 4, 5 යන දෙදින තුළ ඉතා උත්කර්ෂවත් ආකාරයට පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම්ව පවතිනු දැකගත හැකි ය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

හැත්තෑව දශකයේ මුල් භාගයේ ඇරැඹි මෙම පෙරහැර එවකට ආරම්භ කර ඇත්තේ ඇසළ මාසයේ ය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය අනුස්මරණය කරනු වස් මෙම බුද්ධ වන්දනාව ආරම්භ වී ඇති බැව් ඒ හා බැඳි අඩසියවසකට අධික ඉතිහාසය ආවර්ජනය කිරීමේ දී මොනවට පැහැදිලි වේ. එවකට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අධිපතිත්වය දැරූ දෙවුන්දර වාජීස්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය ආරම්භ කර ඇත. අනතුරුව වසර කිහිපයක් ඉක්ම යෑමේ දී විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නාහිමියන් ගිලන්වීම හේතුකොට ගෙන ඉතා කෙටි කාලක් නැවතී ඇත. පසුව වර්ෂ 1979 දී නවම් මස නැවත පෙරහැර ආරම්භ වී කොළඹ නවම් මහ පෙරහැර ලෙසින් ප්‍රකට විය. තුරුණුවන් කෙරෙහි පවත්වනු ලබන මහා පූජෝපහාරයක් ලෙස අද දක්වා ම එතුළින් දේශයේ අගනගරය කලඑළි කරනු දැකගත හැක. පෙරහැර නැවත ආරම්භ කිරීම සඳහා කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ආචාර්ය ගලබොඩ ශ්‍රී ඥානිස්සර ස්වාමීන්ද්‍රයින් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එවකට මැද කොළඹ පළමු මහජන මන්ත්‍රී වූ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ මෙන්ම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ද ක්‍රියාකාරී දායකත්වය ලැබී ඇති අතර එය නවම් මහ පෙරහැර අඛණ්ඩව පවත්වාගෙන යෑමට මෙන්ම එහි අභිවෘද්ධියට ද මහත් පිටිවහලක් වී ඇති බැව් ද කරුණු ගෙනහැර පායි.

කොළොම්තොට කලඑළිකරන නවම් මහ පෙරහැර

එතැන් පටන් දේශයේ ආගමික සිද්ධස්ථාන නඟාසිටුවීම මෙන්ම පරාර්ථකාමි මෙහෙවරයන් උදෙසා තම ධන පරිත්‍යාග කළ සත් ගුණවත් සතර පේරුවේ දායක කාරකාදීන්, ප්‍රභූවරුන්, ප්‍රකට ව්‍යාපාර භවතුන් මෙන්ම පරිත්‍යාගශීලීන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් දායක සභාවක් ගංගාරාම විහාරස්ථානයේ ස්ථාපිතවීම තුළ නවම් මහ පෙරහැරේ ශ්‍රී විභූතිය වසරින් වසර දේශයට උරුම වී ඇත. වසර 30 ක් තිස්සේ පැවැති රුදුරු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හමුවේ පවා නවම් මහ පෙරහැර මනා ලෙස පවත්වා ජන හදවත් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය මතුකරන්නට සමත්විය. ලංකාවේ පැවැත්වෙන පෙරහැරවල් අතර වැඩි ම අලි ඇතුන් සංඛ්‍යාවක් මෙන්ම නානාවිධි නර්තන කණ්ඩායම් විසින් විශාල ප්‍රමාණයක් සභභාගි වන පෙරහැරක් ලෙස නවම් මහ පෙරහැර විරුදාවලිය ලබා ඇත. එය දෙවැනි වන්නේ සෙංකඩගල පුරවර පැවැත්වෙන දළදා පෙරහැරට පමණි.

කොළඹ ජීවත්වන බෞද්ධ ජනතාව පමණක් නොව අන්‍යාගමිකයින්ගේ ද පූජෝපහාරයට බඳුන්වූ මෙම පෙරහැර සඳහා ඔවුන් දක්වන සහයෝගය ප්‍රශංසනීය වේ. දින ගණනක් පුරාවට පැවැත්වෙන මහා පිංකම් මාලාවේ අවසන් දෙදින වන නවම්පුර පසළොස්වක පොහෝ දින සහ ඊට පෙර දින පෙරහැර පැවැත්වේ. එය නැරඹීම සඳහා කොළොම්පුරයට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒකරාශී වන පිරිස අති මහත්ය. මේ අතර විදේශිකයින් ද වේ. පැය කීපයක් පුරාවට වීදි සංචාරය කෙරෙන නවම් මහ පෙරහැර සිත්සේ නරඹන්නට අවශ්‍ය සියලු පහසුකම් උපරිම අයුරින් සලසා තිබීම ද පැසසුම් සහගත ය. වසරින් වසර හෙළ නර්තන සම්ප්‍රදායන්ගේ නව නිර්මාණවලට අවස්ථාව සලසා දෙමින් නරඹන්නන්ගේ සිත් ප්‍රබෝධමත් වන ආකාරයට මෙය පැවැත්වීම ද විශේෂත්වයකි. මෙවර ද ඊට අදාළ සියලු කටයුතු නාහිමියන්ගේ පූර්ණ මඟ පෙන්වීම ප්‍රකාරව, එහි මහා බර කරටගත් විහාරාධිකාරී පූජ්‍යපාද ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මත විහාරස්ථානයේ වැඩ සිටින මහා සඟරුවන, දායක සභාව, ශ්‍රී ජිනරතන අධ්‍යාපනික ආයතනයේ සිසු දරුවන්ගේ

කැපවීම ද, සෙසු සංවිධානවල සහාය ද පෙරහැරේ සාර්ථකත්වයට මහත්සේ හේතුපාදකවී ඇත. දකින නරඹන සෑම සියලු දෙනාගේ ම හදවත් තුළ තුණුරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් ඇතිවන ආකාරයට ත්‍රිවිධ චෛත්‍යන්ගෙන් සමලංකෘතව නිර්මාණය වී ඇති ගංගාරාම පුදබිම දෛනිකව වන්දනාමාන කිරීමට පැමිණෙන දේශීය මෙන්ම විදේශික පිරිස් ද බොහෝය. මෙම විහාරස්ථානය විවිධ තත්ත්වයන් විiාමන වන සිද්ධස්ථානයකි. ඒ අනුව වරෙක මෙය, කෞතුගාරයකි. තවත් වරෙක කලාභවනකි. ඒ වාගේම අති විශාල දරු පිරිසකට විවිධ භාෂා ශස්ත්‍රයන් උගන්වන අධ්‍යාපනික ආයතනයකි. තවත් වරෙක කාර්මික විiාලයකි. ඒ වගේම කතරගම ආදී ප්‍රදේශවල නේවාසිකාගාර පවත්වාගෙන යමින් සැඳැහැවතුනට පිහිටවන තැනකි. තව ද වෙහෙර විහාරස්ථානවලට අවැසි බොහෝ දේ පරිත්‍යාග කරන පුණ්‍ය ආයතනයකි. මේවා උදාහරණ කිහිපයක් පමණි. මෙකී නොකී අතිමහත් ආගමික, ශාසනික හා සමාජීව මෙහෙවරක් සිදුකරන අතරේ වසරකට වරක් පවත්වනු ලබන නවම් මහ පෙරහැර ලාංකීය ජන සමාජයේ බෞද්ධාගමික උත්කෘෂ්ඨභාවය මොනවට මතු කෙරෙන පුණ්‍යයෝත්සවයක් ලෙස ජනහදවතට සමීපවී ඇත.

කැලණියේ සාමවිනිසුරු නන්දලාල් සමරවීර

advertistmentadvertistment
advertistmentadvertistment