කෝකෙත් ප්‍රෝටීන් ග්‍රෑම් 7 යි: – රතු බිත්තර-සුදු බිත්තර-ගම් බිත්තර කියා පෝෂණයේ වෙනසක් නෑ

651

විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර

ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම සඳහා ආහාරයට ගනු ලබන සුදු, රතු හෝ ගම් බිත්තර තුළ අන්තර්ගතව ඇත්තේ එකම පෝෂණ ගුණයක් බව සායනික පෝෂණවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා ‘දිවයින’ට ඊයේ (17දා) ප්‍රකාශ කළේය.

වෙළෙඳ පොළේ රතු, සුදු හෝ ගම් බිත්තර විවිධ මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට අලෙවි කෙරෙන නිසා ඒ සම්බන්ධයෙන් ගුණාත්මක භාවය පිළිබඳව කළ විමසීමකදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා මෙසේද පැවසීය.

‘සුදු, රතු හෝ ගම් බිත්තර කියන තුන් වර්ගයේම තිබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 7ක් පමණයි. නමුත් මේ බිත්තර තුනේම ප්‍රමාණය වෙනස්වීම තුළ ප්‍රෝටීන් ප්‍රමාණයද වෙනස්වීමට හැකියාව පවතිනවා. පවතින ආර්ථික තත්ත්වය ගැන සිතා බිත්තර පරිභෝජනය කිරීමේදී වෙළෙඳ පොළේ ඇති මිලෙන් අඩුම බිත්තරය මිලදී ගන්නේ නම් වඩාත් සුබදායී බවයි පැවසිය හැක්කේ.

සාමාන්‍යයෙන් කුමන හෝ බිත්තරයක පෝෂණ වර්ග කිහිපයක් අන්තර්ගතව තිබෙනවා. නමුත් එහි ඇති ප්‍රෝටීන ප්‍රමාණය එකයි. ඒ නිසා කල් ඉකුත්වී නැතිනම්, පාට බිත්තර හෝ ගුණාත්මක බවින් වැඩි යැයි කියන ගම් බිත්තර සෙවීමට කාලය, මුදල් වැඩිපුර වැය නොකර අඩුම මුදලට ඇති බිත්තර තමන්ගේ පරිභෝජනයට යොදාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment