කෝටිපතියකු ඝාතනයට මාන බැලූ හඳයාගේ ගෝලයා මාට්ටු – ගිනිඅවියක්, මැගසින් එකක් සහ උණ්ඩ තිහකුත් අල්ලයි

294

රුපියල් දසලක්‍ෂයක මුදල් කොන්ත්‍රාත්තුවකට හෝමාගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වෙඩිතබා ඝාතනය කිරීමට සූදානමින් සිටි ප්‍රබල පාතාල සාමාජිකයකු ටී 56

ගිනිඅවියක් ඇතුළු අවි ආයුධ සමග කළුතර අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (01 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල ප්‍රබලයා ‘හඳපාන්ගොඩ හඳයා’ නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු වන අතර මොහුගේ අනියම් බිරිඳ ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරකට අනුව මාලඹේ ප්‍රදේශයේ පිහිටි මෙම පාතාල ප්‍රබලයාගේ අනියම් බිරිඳගේ නිවසේ සඟවා තිබූ ටී.56 ගිනිඅවිය මැගසින් එකක් ජීව උණ්ඩ තිහක් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

හඳපාන්ගොඩ හඳයා මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර ඔහු සහ හෝමාගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා අතර කාලයක පටන් පැවති ආරවුලක් මෙම කොන්ත්‍රාත් ඝාතන සැලසුම සඳහා හේතුවී ඇති බව පොලිසිය පවසයි. යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරය කරගෙන ගොස් ඇති ව්‍යාපාරිකයා ධනවතකු බවට පත්ව තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ඒ. සුජිත් මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment