කෝටිපතියන් බය කරගෙන හීනටියන මහේෂ් දිගටම කප්පම් ගරයි

549

හීනටියන මහේෂ් නමැති පාතාල නායකයා විසින් මෙහෙයවන පාතාල කල්ලිය මීගමුව, කටුනායක මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් ධනවතුන් භීතියට පත්කරගෙන රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි භීතියට පත්ව සිටිති.

මෙම පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සිය පාතාල කල්ලිය මෙහෙයවන අතර මොහුට කප්පම් නොදෙන ව්‍යාපාරිකයන් ධනවතුන් ඝාතනය කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

කටුනායක ප්‍රදේශයේ එක්තරා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 4 ක කප්පම් මුදලක් මෙම පාතාල නායකයා විසින් ඉල්ලා තිබූ අතර එය ලබා නොදීම නිසා එම ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීමට මොවුන් සැලසුම් කර තිබිණි.

එම ව්‍යාපාරිකයා බැංකුවට ගොස් ආපසු යමින් සිටියදී ඔහු පසුපස පන්නාගෙන ගිය මහේෂ්ගේ ගෝලයකු වන දිනේෂ් නමැත්තා ඔහුගේ පිස්තෝලය එල්ල කර වෙඩි තබා ඇතත් එය ක්‍රියාත්මක වී නැත.

මේ අතර කටුනායක ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයකුගෙන් හීනටියන මහේෂ් කෝටි ගණනක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර තිබිණි. එම මුදල් ලබා නොදීම නිසා දිනේෂ් ඇතුළු පාතාල මැරයන් එම ව්‍යාපාරිකයාට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇතත් එය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු අනූනමයෙන් දිවි ගලවා ගෙන ඇත.

මහේෂ්ගේ සමීපතම ගෝලයා බව කියන දිනේෂ් නමැත්තා 23 වැනිදා අලුයම පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් විය.

මේ ආකාරයට හීනටියන මහේෂ් නමැති පාතාල නායකයා මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ, දිවුලපිටිය, සීදුව ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බව වාර්තා වෙයි.

මේ පාතාල නායකයාට ඇති බිය නිසා කිසිදු ව්‍යාපාරිකයකු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පාතාල කල්ලිය මර්දනය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment