කෝටිපතියන් වූ සතොස නිලධාරීන් ගැන පොලිස් විමර්ශන – ඇමැති සරත් වීරසේකර

308

කෝටිපතියන් බවට පත්වූ බව කියන සතොස නිලධාරීන් පිරිසක් පිළිබඳව විශේෂ පොලිස් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (03දා) පැවැසීය.

සුදුලූනු වංචාවට සමාන තවත් වංචාවන් රැසක් කාලයක් තිස්සේ සිදුවන බවට තොරතුරු සනාථ කර ගැනීම සඳහා මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද හෙතෙම කීවේය.

මෙම සතොස නිලධාරීන් කෝටිපතියන් බවට පත්වූයේ කෙසේද යන්න අනාවරණය කර ගැනීම විමර්ශන කටයුතුවල අරමුණ බව වීරසේකර මහතා පැවසීය.

පරිගණක මාර්ගයෙන් සහ විවිධ උපක‍්‍රම ඔවුන් භාවිත කර තිබේදැයි සොයා ගැනීමට දැනටමත් පොලිස් විමර්ශන කරන බවද ඔහු කීය. ඔවුන් අයුතු ලෙස විශාල දේපළ උපයාගත් ආකාරය විමර්ශනවලදී හෙළිකළ යුතු යැයිද ඇමැතිවරයා පැවසීය. මේ අතර සුදුලූනු වංචාව සම්බන්ධව පෑලියගොඩ පොලිසිය සිදුකළ සියලූම පරීක්‍ෂණ වාර්තා රහස් පොලිසියට බාරදීමෙන් පසු එම සියලූම විමර්ශන කටයුතු අද (04දා) පුළුල් අන්දමින් සිදුකරන බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment