කෝටිපතියාගේ මළ සිරුර නාන තටාකයේ

500

ගෙදරින් ගියේ ව්‍යායාම කරන්න
සිරුර තිබී ඇත්තේ නිරුවතින්
වට්ස්ඇප් පණිවිඩ කවුද කියවලා

ෂේඩ් (Shade) රෙදිපිළි ව්‍යාපාරයේ අධිපති මෙන්ම කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක අවුරුදු (51) මහතා ඔහුට අයත් පැලවත්ත සුවිසල් නිවසේ පිහිනුම් තටාකයේ නිරුවත්ව අභිරහස් අන්දමින් මියගොස් සිටියදී තලංගම පොලිසිය මගින් ඊයේ (2 දා) සොයා ගෙන තිබේ.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක්ද යන්න පිළිබඳ බරපතළ සැකයක් පහළවී තිබෙන බැවින් පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ෂේඩ් රෙදිපිළි වෙළෙඳ ජාලයේ අධිපතිවරයා ඉකුත් 30 වැනිදා සවස ව්‍යායාම කිරීම සඳහා වැල්ලම්පිටියේ පිහිටි නිවසින් පිටත්ව ගොස් ඇත. ඒ ඇවිදින මංතීරුවක ව්‍යායාම්වල නිරත වීමටය.

පනස් එක් හැවිරිදි මෙම කෝටිපති ව්‍යාපාරිකයා අවිවාහකය. ඔහු වැල්ලම්පිටිය නිවසේ පදිංචිව සිට ඇත්තේ ඔහුගේ මව හා නැගණිය සමගය.

ඉකුත් 30 වැනිදා සවස ඔහුට අයත් මෝටර් රථයක නැඟී ව්‍යායාම සඳහා ඇවිදීමට යන බව කියමින් නිවසින් පිටව ගොස් ඇත.

එසේ නිවසින් ගිය කෝටිපති ව්‍යාපාරිකයා යළි එදින ආපසු වැල්ලම්පිටිය නිවසට පැමිණ නැත. එසේ ව්‍යායාම සඳහා නිවසින් පිටත්වන ඔහු ඇතැම් දිනවල ඔහුටම අයත් බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ සුවිසල් නිවසේ නතර වන නිසා ඒ පිළිබඳ මව හා සහෝදරිය එතරම් විශේෂයක් කොට සලකා නැත.

මෙකී කෝටිපති ව්‍යාපාරිකයා පැලවත්ත සුවිසල් නිවස රුපියල් කෝටි අටකට මීට ටික කලකට පෙර මිලදී ගෙන තිබේ. එහි අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබෙන අතර එහි කටයුතු සොයා බැලීමට එහි නිතර නිතර ගොස් ඇත.

මව හා නැගණිය පදිංචි නිවසින් පිටව ගිය ඔහු ඊට පහුවදා (31 වැනිදා) ද නිවසට නොඒම පිළිබඳ සැක සිතූ නිවැසියන් ඔහුගේ ජංගම දුරකථනවලට ඇමතුම් ගෙන ඇත. නමුත් ඉන් ප්‍රතිචාරයක් නොවූ නිසා ඇති වූ සැකය මත වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

වැල්ලම්පිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළ පසු කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාති සහෝදරියක මෙම නිවසට ගොස් බැලීමේදී නිරුවත් සිරුර තටාකයේ පාවෙන අයුරු දැක ඇත.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා යම්කිසි අයකු විසින් ඝාතනය කර නාන තටාකයට දැමුවේ දැයි යන්න පිළිබඳ පරීක්‍ෂණ පවත්වන පොලිසියට බරපතළ සැක මතුවී ඇත.

මොහුගේ දුරකථනය පරීක්‍ෂා කිරීමේදී දුරකථනයේ වට්ස්ඇප් පණිවුඩ කිසිවකු විසින් කියවා ඇතැයි ද හෙළිවී ඇත.

ෂේඩ් රෙදිපිළි ව්‍යාපාරයේ හිමිකරු වූ මොහු සතුව වී-8 වර්ගයේ අධි සුඛෝපභෝගී වාහන කිහිපයක් තිබී ඇත. ඊට අමතරව පැලවත්ත, රාජගිරිය, කොටිකාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම වෙළෙඳ ජාලයට අයත් වෙළෙඳසල් ඇතැයි පොලිසිය පවසයි.

මොහු මීට ටික කලකට පෙර ආගමික නායකයන්ට කෝටි හතරහමාරක් වටිනා ජීප් රථයක් පවා ප්‍රදානය කර ඇතැයි හෙළිවී තිබේ.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ නිරුවත් මළ සිරුර සම්බන්ධයෙන් මතුවී තිබෙන සැක මත ඒ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment