කෝටිපති පුතා පැහැරගත් කල්ලිය අල්ලයි – කල්ලියට දුන් ලක්ෂ 56ක කප්පම් මුදලත් ආපසු ගනී

882

වත්තල පැය 10ක මෙහෙයුමක්

කෝටිපති පුතා සහ ඔහුගේ වාහනය

කෝටිපති පුතා පැහැරගත් කල්ලිය අල්ලයි - කල්ලියට දුන් ලක්ෂ 56ක කප්පම් මුදලත් ආපසු ගනී


වත්තල, හැඳල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයා පැහැරගෙන  ගොස් රුපියල් පනස්හය ලක්ෂයක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් හත්දෙනකු පැහැර ගැනීම සිදුවී පැය දහයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය පෙරේදා  (27 වැනිදා) සමත් විය.

පැහැර ගැනීමට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයාද නිරුපද්‍රිතව පොලිස් භාරයට ගත් අතර කප්පම්කරුවන්ට ලබාදී තිබූ රුපියල් පනස් හය ලක්ෂයක කප්පම් මුදල ද ආපසු ලබාගැනීමට වත්තල පොලිසිය සමත්වී ඇත.

කෝටිපති පුතා පැහැරගත් කල්ලිය අල්ලයි - කල්ලියට දුන් ලක්ෂ 56ක කප්පම් මුදලත් ආපසු ගනී

ඉන්ධන පිරවුම් සහ ව්‍යාපාර කීපයක හිමිකරුවකු වූ මෙම ධනවත් ව්‍යාපාරිකයාගේ 21 හැවිරිදි පුත්‍රයා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පහැර ගනු ලැබුවේ පෙරේදා පෙරවරු 10. 45 ට පමණය.

21 හැවිරිදි පුත්‍රයා වත්තල හේකිත්ත ප්‍රදේශයේ බැංකුවකට ගොස් ආපසු යෑමට සූදානම්ව සිය රේන්ජ් රෝවර් ජීප් රථයට නගිද්දී එහි පැමිණි කප්පම් කල්ලිය ජීප් රථයද සමග ඔහු පැහැරගෙන ගොස් තිබිණි.

ව්‍යාපාරිකයාගේ පුත්‍රයා පැහැරගෙන යනවා දැක ඇති ඔවුන්ට හිතවත් ත්‍රිරෝද රථ රියැදුරකු කප්පම් කල්ලිය ලුහුබැඳ ගොස් ඇතත් ඔහුට ඔහු සොයා ගැනීමට නොහැකි වී තිබේ.

පසුව ත්‍රිරෝද රථ රියැදුරු මෙම සිද්ධිය පිළිබඳව ව්‍යාපාරිකයාට ඒ මොහොතේදීම දැනුම් දී ඇත.

සංවිධානාත්මක පිරිසක් විසින් තම පුත්‍රයා පැහැරගෙන ගිය බව ව්‍යාපාරිකයා විසින් පෙරේදා පෙරවරුවේ වත්තල පොලිසිය වෙත පැමිණිලිකර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් සිලෝගම මහතා ඇතුළු නිලධාරීන් පැහැර ගැනීම සිදුවූ ස්ථානය වෙත ගොස් සී සී ටී වී දර්ශන පරීක්‍ෂා කර විමර්ශන ආරම්භ කර තිබිණි.

කප්පම්කරුවන් මීගමුව ප්‍රදේශයට පලා ගොස් ඇති බව සොයාගත් පොලිසිය අවට පොලිස් ස්ථාන සියල්ල දැනුවත් කර හදිසි මාර්ග බාධක යොදා සංවිධානාත්මක කම්පම් කල්ලිය වැටලීමේ මෙහෙයුම ආරම්භ කළේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත, පොලිස් අධිකාරි ප්‍රසන්න සිල්වා යන මහත්වරුන්ගේ පූර්ණ උපදෙස් මත විමර්ශන කණ්ඩායම් තුනක් මෙහෙයුම සඳහා එක්ව සිටියහ.

කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා සමඟ පැහැරගෙන ගිය සුඛෝපභෝගී ජීප් රථය ජා -ඇල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගන්නේ ඒ අතරතුරදීය.

ඒ අනුව කළ විමර්ශනවලින් පොලිසිය සැක පහළ කළේ කප්පම් කල්ලිය ජාඇල අවට ප්‍රදේශයේ කිසියම් ස්ථානයක සැඟවී සිටින බවය.

මෙසේ විමර්ශන ක්‍රියාත්මක වෙද්දී කප්පම් කල්ලියේ නායකයා කෝටිපති ව්‍යාපාරිකයාට දුරකථනයෙන් කථා කර පුත්‍රයා නිදහස් කිරීමට නම් රුපියල් පන්හය ලක්ෂයක කප්පම් මුදලක් ලබාදෙන ලෙස කියමින් තර්ජනය කර ඇත.

ව්‍යාපාරිකයා එම කප්පම් මුදල ලබාදීමට එකඟවී ඇති අතර ඒ බව ඔහු පොලිසියට ද දැනුම් දී තිබිණි.

කම්පම් කල්ලිය ඇමතුම් ලබාගන්නා ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ස්ථානය දුරකථන සංඥා කුලුනු ඔස්සේ සොයාගත් පොලිසිය එම ප්‍රදේශයට සිවිල් පොලිස් නිලධාරීන් යැවීමට කටයුතු කළේය.

මේ අතර කප්පම් කල්ලියේ සාමාජිකයකු ගමන් ගත් කුලී සේවා රථයක රියැදුරකු පොලිස් භාරයට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කල්ලියේ ප්‍රබලයකු ඒකල නිවාසපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර කප්පම් කල්ලිය දිගින් දිගටම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබාදෙමින් හැකි ඉක්මනින් මුදල් ලබාදෙන ලෙසත් එසේ නොකළොත් පුත්‍රයා ඝාතනය කරන බවටත් තර්ජනය කර තිබිණි.

ඒ අනුව ව්‍යාපාරිකයා එම මුදල කප්පම් කල්ලිය ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කිරීමට කටයුතු කර තිබේ.

ව්‍යාපාරිකයා අදාළ බැංකු ගිණුමට මුදල් බැර කළ බව සොයාගත් පොලිසිය එම බැංකුවට කථා කර එම මුදල් කිසිවෙකුටත් ලබා ගත නොහැකිවන ලෙස කටයුතු කිරීමට උපදෙස් දී තිබේ.

මේ අතර අදාළ මුදල් බැංකු ගිණුමට බැරවී ඇති බව දැනගත් කම්පම් කල්ලිය ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ජාඇල ප්‍රදේශයට ගෙනවිත් දමා පලා ගොස් තිබිණි.

දීර්ඝ ලෙස පොලිස් විමර්ශන කරගෙන ගිය අතර කප්පම් කල්ලියේ මහා මොළකරු හලාවත ප්‍රදේශයට පලායෑමට උත්සාහ කරද්දී සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව මෙම කම්පම් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇති අතර මෙහි මහ මොළකරු ආරක්ෂක අංශයක සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ. සැකකරුවන් සියලු දෙනා ජාඇල, සීදුව, කිඹුලාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන්ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ වත්තල පොලිස් ස්ථානාධිපති ලලිත් සිලෝගම, අපරාධ අංශයේ ස්ථානාධිපති ගැමුණු ගුණරත්න, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන සංජීව, සේනානායක, හේරත් සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු හා බී. ටී. කේ. ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment