කෝටියක අයිස් සමග අයෙක් වත්තලදී එස්.ටී.එෆ්. දැලේ

71

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු වත්තල දී විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් පෙරේදා (14 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල පොලිස් වසමේ වත්තල, සුපිරි වෙළෙඳසලක් අසල දී පෙරේදා (14 වැනිදා) විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු, අයිස් මත්ද්‍රව්‍ය හා මෝටර් රථය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එම්. එන්. කේ. මාරසිංහ ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment