කෝටියක පැරසිටමෝල් අමුද්‍රව්‍ය ගත්තත් ටෙන්ඩර්වලට පෙර චෙක් කර නෑ – විගණනයෙන් හෙළි වෙයි

123

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ දී (2021) රුපියල් එක්කෝටි දශලක්ෂ හැටඅටදහස් හයසියපනහක් වියදමක් දරා පැරසිටමෝල් ෘක්‍ 90 නමැති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6000ක් මිල දී ගෙන තිබූ අතර එකී අමුද්‍රව්‍යවල සාම්පල් ටෙන්ඩර් ඇගයීමට ප්‍රථම පරීක්ෂා කර ගුණත්වය තහවුරු කර ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ වෙනුවට සැපයුම්කරු විසින් ඉදිරිපත් කර තිබූ විශ්ලේෂණ වාර්තා මත පමණක් පදනම්ව සංස්ථාවේ තත්ත්ව පාලන අංශය විසින් ඖෂධ නිෂ්පාදනය සඳහා එකී අමුද්‍රව්‍ය නිදහස් කර තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මෙකී අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් තිදෙනකුගෙන් මිලදීගෙන තිබිණි. ප්‍රසම්පාදන කමිටුව විසින් සැපයුම්කරුවන්ගේ ටෙන්ඩර් සාම්පල් සංස්ථාවේ රසායනාගාරය මගින් අනුමත කළ යුතු බවට නිර්දේශ කර තිබුණ ද එකී සාම්පල් පරීක්ෂා කර නොතිබිණි. මෙකී සැපයුම්කරුවන් තිදෙනාම අදාළ අමුද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් පෙර සැපයුම්කරුවන් නොවූ අතර ඔවුන් තිදෙනාම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම සංස්ථාවේ වට්ටෝරු සංවර්ධන හා නිෂ්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ යන්ත්‍ර පෙරහුරු පරීක්ෂාවේදී සමත්විය යුතු අවශ්‍යතාවන් සම්බන්ධයෙන් සැපයුම්කරුවන් දෙදෙනකු විසින් සපයා තිබූ අමුද්‍රව්‍ය අසමත් වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. එක් සැපයුම්කරුවකුගේ යන්ත්‍ර පෙරහුරු පරීක්ෂණ වාර්තා විගණනය සඳහා ඉදිරිපත් කොට නොතිබිණි.

කෙසේවුව ද මේ පිළිබඳ ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ පැරසිටමෝල් ඖෂධයේ අධික අවශ්‍යතාව ද සැලකිල්ලට ගෙන අමුද්‍රව්‍යවල තත්ත්වය සියයට සියයකින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව තත්ත්ව පාලන අංශය විසින් ඖෂධ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය නිදහස් කළ බවයි. ඖෂධවල ගුණත්වය පිළිබඳ විගණන වාර්තාවේ දක්වා අති අර්ථ නිරූපණය නිවැරදි නොවන බව ද කළමනාකාරීත්ව විසින් සඳහන් කර ඇත. ඖෂධයක ගුණත්වය යනු එකී ඖෂධය රෝගියකු අතට පත්වන අවස්ථාවේ ඖෂධයක තිබිය යුතු ප්‍රමිතිය වන බව කළමනාකාරීත්වය විසින් සඳහන් කර ඇත. යන්ත්‍ර පරීක්ෂාවේදී මතු වන ගැටලු නිෂ්පාදන ක්‍රියාවලියේ දී මතු වන අවහිරතාවන් බව ද කළමනාකාරීත්ව විසින් විගණනයට සඳහන් කර ඇත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබිණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල


 

advertistmentadvertistment
advertistmentadvertistment