කෝටියක හොර ඖෂධ පිටකොටුවෙන් අල්ලයි

189

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් ඉකුත්දා පිටකොටුව ප්‍රධාන පෙළේ ඖෂධ ගබඩාවක තිබී තම භාරයට ගෙන ඇත.

තුර්කිය, ඉතාලිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල්වලින් මෙම ඖෂධ හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

පිළිකා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ලිංගික බෙලහීනතාව, අක්‍ෂි ආබාධ, මදසරු භාවය, හෘද රෝග, පුරුෂ හෝමෝන, මොළයේ ආබාධ සඳහා භාවිත කරන අධික මිලකින් යුත් ඖෂධ තම භාරයට ගත් ඖෂධ අතර තිබූ බවද එම අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අංශ ප්‍රධානී (නීති බලාත්මක) අමිත් පෙරේරා මහතා පැවසීය. පිටකොටුවේ සිට පුත්තලම මහනුවර, කල්මුණේ, මඩකලපුව යන ප්‍රදේශවලට මෙම ඖෂධ බෙදාහැර ඇති බවත් වෙනත් රටවල අලෙවිය සඳහා පමණක් එම රටවල භාෂාවෙන් විස්තර සඳහන් කර ඇති මිල අධික ඇතැම් ඖෂධ කෙසේ වෙළෙඳපොළට පැමිණියේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අමිත් පෙරේරා මහතා පැවසීය.

ගුවන් තැපැල් මගින් ඇතැම් ඖෂධ මෙරටට ගෙන්වා ඇති බවට සැකකරන බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමග විමර්ශනය කරන බවත් පැවසූ ඒ මහතා මෙම ඖෂධ නීති විරෝධී ලෙස ආනයනය කළ සැපයුම්කරුවන් තිදෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවත් කියා සිටියේය.

මීට අමතරව මෙම ඖෂධ ගබඩාවේ තිබී වෛiවරුන් සඳහා පමණක් ලබාදෙන physicians samples අති විශාල ප්‍රමාණයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ භාරයට ගන්නා ලදි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ඒ. ඩී. ජයරත්න හා ප්‍රධාන විධායක නිලධාරි, අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අංශ ප්‍රධානී (නීති බලාත්මක) අමිත් පෙරේරා හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment