කෝටි ගණනින් ඩොලර් ගේන්න ටී 10 එනවා – “ටී 10 ලෝකයේම ආකර්ෂණය දිනා ගනියි” – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා

1176

වත්මන් ලොව වේගවත්ම ක්‍රිකට් තරග ආකෘතිය වන ටී 10 තරග රටාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.

දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට සැලසුම්කර තිබෙන ටී 10 ක්‍රිකට් තරගාවලිය හඳුන්වා දීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ටී 10 ග්ලෝබල් සපෝරට්ස් T Ten Global Sports ආයතනය එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.

ලංකා ටී 10 ක්‍රිකට් තරගාවලියට පිරිමි කණ්ඩායම් 6ක් හා කාන්තා කණ්ඩායම් 4ක් එක්වන අතර එක් පිරිමි කණ්ඩායමකට ලොව දක්ෂ විදෙස් ක්‍රීඩකයන් 6ක් හා දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් 10ක් ඇතුළත් කෙරේ. එවැනි ව්‍යුහාත්මක භාවයකින් ලංකා ටී 10 කාන්තා ක්‍රිකට් තරගාවලිය ද සැලසුම් කොට ඇත. තරගාවලිය හම්බන්තොට හා මහනුවර කේන්ද්‍රකොට දින 12ක් පුරා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙසේ ද පැවසීය. “අපගේ වාර්ෂික ක්‍රිකට් දින දර්ශනයට ලංකා ටී 10 ක්‍රිකට් තරගාවලිය විශිෂ්ට එකතු කිරීමක් වෙනවා. වෙනස් වෙමින් දියුණුවට පත්වන ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් පියවරකින් ඉදිරියට ගොස් කොටස්කරුවකු වීමට ලැබීම ගැන ක්‍රිකට් ආයතනය ලෙස අප සතුටට පත්වෙනවා. මේ අලුත්ම ලංකා ටී 10 ක්‍රිකට් තරගාවලිය සඳහා T Ten Global Sports සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කරන ලද කාර්යභාරය පිළිබඳව මගේ ප්‍රශංසාව හිමි වෙනවා.

නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රීඩිකාවන්ට හොඳ අවස්ථාවක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා

“ටී 10 ක්‍රිකට් ක්‍රීඩාව අපගේ නැඟී එන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රීඩිකාවන්ට හොඳ අවස්ථාවක්. මේ තරගාවලියට ලෝකයේ හොඳම ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදනවා. විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කිරීමට නම් ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථා තිබිය යුතුයි. ලංකා ටී 10 ක්‍රිකට් ලීග් තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත් උද්යෝගයක් සහ විනෝදයක් ලබා දිය හැකි තරගාවලියක් වන බව විශ්වාසයි.
කුශාන් සුභසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment