කෝටි ගාණකට විකුණන්න හැදු ගජමුතු 76 ක් අලුත්වැවදී දැලේ

274

* සැකකරු දේවාලකන්දේ පදිංචිකරුවෙක්

* එකක් රු.ලක්‍ෂ 10-50 අතර මිලකට අලෙවි කරන්න ඉඳලා


රුපියල් කෝටි ගණනක මුදලට අලෙවි කිරීමේ අරමුණින් දුර්ලභ වර්ගයේ ගජමුතු 76 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් විසින් ඉඟිණියාගල අලුත්වැව ප්‍රදේශයේදී පෙරේදා (28 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම මෙරට ඉතිහාසයේ සිදුකළ විශාලතම ගජමුතු වැටලීම බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙහිදී සොයාගත් ගජමුතු එකක් රුපියල් ලක්‍ෂ 10 ත් 50 ත් අතර මුදලකට අලෙවි කිරීමට සූදානම් කරගෙන සිටි බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ගජමුතු තොගය අලෙවි කිරීමට සූදානම් කරගෙන සිටි පුද්ගලයා අම්පාර දේවාලකන්ද ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි අයෙකි.

මෙම ගජමුතු තොගය මොහුට ලැබුණේ කෙසේද කියා සෙවීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. ඒ. මනෝහර ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ඉඟිනියාගල පොලිසිය වෙත භාරදී ඇති අතර අම්පාර අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හේමන්ත රන්දුණු සහ ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment