කෝටි දෙකක ඩොලර් පෙන්නලා රුපියල් ලක්ෂ දහයකට විදලා

1184

පෙන්නුවේ ඇමරිකන් මූණක් වැඩේ දුන්නේ ශ්‍රී ලංකා මූණෙන්
විදේශිකයන් සමග එකතුවී මුදල් වංචා කරන පිරිස්
අන්තර්ජාලයේ ඉඩම් විකුණන්නෙ පරිස්සමින්…

“ඉංගිරිය, සාන්ත පීතර ජනපදයේ නිස්කලංක පරිසරයක පිහිටි ඉතා අගනා බිම් කොටසක් විකිණීමට තිබේ. අමතන්න 077123….” අන්තර්ජාලයේ මෙවැනි දැන්වීමක් දැනට සති කිහිපයකට උඩදී පළකර තිබුණි. එම දැන්වීම පළ කර තිබුණේ ඉංගිරිය කීරගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් පමණ වන කාන්තාවකි. මෙතැන් සිට නදීකා යන අන්වර්ථ නාමයෙන් අපි ඇය හඳුන්වන්නෙමු.

නදීකා මෙම වෙළෙඳ දැන්වීම පලකළ පසු ඉඩම මිලදී ගැනීම සඳහා දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් ඇයට දුරකථන ඇමතුම් ලැබුණි. එහෙත් ඇය බලාපොරොත්තු වූ මුදලට ඉඩම මිලදී ගැනීමට ඒ කිසිවකු කැමති වූයේ නැත. එතරම් මුදල් හදිස්සියක් නොතිබූ නිසා නිසි ගැනුම්කරුවකු හමුවන තුරු ඇය බලා සිටියාය.

එම කාලය අතරතුර ඇයට විදේශීය දුරකථන අංකයකින් වට්ස්ඇප් ගිණුමට ඉංග්‍රීසි බසින් කෙටි පණිවුඩයක් ලැබුණි. නදීකාගේ ඉංග්‍රීසි දැනුම පැවතියේ සාමාන්‍ය මට්ටමකයි. එහෙත් ඇය කෙලෙස හෝ එම පණිවුඩය තේරුම්ගෙන පිළිතුරු සැපවූවාය. ඉන් පසු දෙදෙනා වට්ස්ඇප් හරහා තවත් තොරතුරු හුවමාරු කරගත්හ. පහතින් පෙළගැසෙන්නේ එහි සිංහල පරිවර්තනයයි.

“හෙලෝ මම ජේසිකා. ඇමෙරිකාවල ඉඳන් කතා කරන්නේ.”

“හෙලෝ මම නදීකා.”

“හඳුනා ගැනීමට ලැබීම සතුටක්.”

“මටත්.”

“ඇත්තටම නදීකා මම කතා කළේ ඔයා දැන්වීමක් දාලා තිබුණා අන්තර්ජාලයේ ඉඩමක් විකුණනවා කියලා. ඒක පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න.”

“ඔව් මම දැන්වීමක් දාලා තිබුණා. ඒත් කාටද ජේසිකා මේ ඉඩම.”

“වෙන කාටවත් නොවේයි මට.”

“ඔයාට.”

“ඔව් ඇත්තටම මට තමයි. මම කිහිප විටක්ම ලංකාවේ සංචාරය කරලා තියෙනවා. ඒක ලස්සන රටක්. මම ලංකාවට හුඟක් කැමතියි. ඒක නිසා මම තීරණය කළා ලංකාවේ ඉඩමක් මිලදීගෙන ගෙයක් හදන්න. මේක මගේ තනි තීරණයක් නොවෙයි. අපේ පවුලේ උදවියගේ තීරණයක්. ඒගොල්ලො කැමතියි ලංකාවට. විශේෂයෙන්ම මගේ තාත්තා.”

“ඇත්තටම මමත් කැමතියි ඒකට. මේ ඉඩම තියෙන්නෙ ඉතා නිස්කලංක පරිසරයක. ඔයා ඇවිත්ම බලන්නකෝ.”

“ඇත්තටම මම සේවය කරන්නේ ඇමෙරිකන් හමුදාවේ. මට මේ ඉඩම බලන්න දැන්මම එන්න වෙන්නේ නැහැ. ඉඩම මිලදී ගන්න සල්ලි දෙන්නෙ මම. ඒ වුණාට ලියකියවිලිවල සියලුම වැඩ කරන්නේ තාත්තා සහ එයාගේ යාළුවෙක්. ඒ ගැන බය වෙන්න එපා. සල්ලි දුන්නට පස්සේ ඉඩම ලියන්න.”

“හරි ඒ ගැන ප්‍රශ්නයක් නැහැ.”

“නදීකා ඉඩමේ වටිනාකම මට කියන්න. ඒ එක්කම ඉඩමේ පිංතූර ටිකක් එවන්න.”

“ඉඩම ගන්න කිහිප දෙනෙක්ම කතා කළා. ඒත් මම දුන්නේ නැහැ. මොකද ඒක වටිනා ඉඩමක්. මම මගේ ගාණ අඩු කරන්න කැමති නැහැ. ඒක හරියටම කෝටියක් වටිනවා.”

“කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒ ගාණට ගන්න කැමතියි. හැකි ඉක්මනින් අපි මේ ගනුදෙනුව ඉවර කරමු. හැබැයි එක පොරොන්දුවක් මත.”

“ඒ මොකක්ද?”.

“ඔයා මේ ඉඩම කාටවත් විකුණන්නේ නැහැ කියන පොරොන්දුව මත.”

“හරි මම පොරොන්දු වෙන්නම්.”

එතනින් නොනැවතුණු ජේසිකා ඇය සමඟ පුද්ගලික තොරතුරු පවා හුවමාරු කරගත්තාය. ඒ අනුව දින කිහිපයක් ඇතුළත දෙදෙනා ඉතා කුළුපගු වූහ. ඒ අතරතුර ජේසිකාගේ පියා යැයි කියාගත් පුද්ගලයෙක් ද ඇයට හඳුන්වා දෙන ලදී. නදීකා ඔහු සමග ද තොරතුරු හුවමාරු කර ගත්තාය.

නදීකා සිටියේ ඉමහත් සතුටකින්ය. ඇය තම පවුලේ උදවියට “මගේ ඉඩම ගන්න ඇමෙරිකාවේ සුද්දියක් ඉන්නවා කියා” උදම් ඇනුවාය.

දිනය අප්‍රේල් මස 9 වැනිදාය. නදීකාට ජේසිකාගේ පියා කෙටි පණිවුඩයක් තැබුවාය. ඒ මෙලෙසින්ය. “ඉඩම මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි දෙකක් වටිනා ඩොලර් ප්‍රමාණයක් කුරියර් කර ඇති බවත්, එම මුදල් රැගෙන පුද්ගලයකු හෙට නිවෙසට පැමිණෙන බවත් මුදල් රැගෙන එන එම පුද්ගලයා ඔබට අවශ්‍ය තොරතුරු සපයා දෙනු ඇත. ඔහු සමග සම්බන්ධ වන්න.”

එයට අමතරව එම පුද්ගලයා “මුදල් නිවසට එන තෙක් සියලු ගෙවීම් සිය දුව විසින් ඩොලර්වලින් ගෙවා ඇති බවත්” සඳහන් කර තවත් කෙටි පණිවුඩයක් එව්වේය.

පසු දින උදාවිය. අපැහැදිලි සිංහලෙන් කතා කළ පුද්ගලයකු නදීකාට පැවසුවේ කෝටි දෙකක් වටිනා ඩොලර් රැගෙන තමන් පැමිණෙන බවයි. ඒ අතරතුර ගුවන් තොටුපළේ පුද්ගලයකු බව පවසමින් නදීකාට පවසා ඇත්තේ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා එක් ලක්ෂ දස දහසක මුදලක් තැන්පත් කරන ලෙසයි. ඒ සඳහා පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක්ද ලබා දුන්නේය. දෙවරක් නොසිතූ ඇය වහාම එම මුදල අදාළ ගිණුමට බැර කළාය.

ගුවන් තොටුපළේ යැයි කියාගත් පුද්ගලයා නැවතත් ඇයට දුරකථන ඇමතුමක් ලබාදී තවත් පෞද්ගලික බැංකුවක ගිණුම් අංක දෙකක් ලබාදී පැවසුවේ පිළිවෙළින් එම ගිණුම්වලට රුපියල් තුන්ලක්ෂ හැට අටදාහක් සහ රුපියල් හාරලක්ෂ තිස් දෙදහක් තැන්පත් කරන ලෙසයි. එයින් හාරලක්ෂ තිස් දෙදහක් තැන්පත් කරන ගිණුමට රුපියල් ලක්ෂයක් අඩුවෙන් දමන ලෙසත් ඉතුරු ලක්ෂය මුදල් රැගෙන එන පුද්ගලයාගේ අතට ලබා දෙන ලෙසත් පැවසුවේය. කිසිවක් සොයා නොබැලූ නදීකා එම මුදල් ද තැන්පත් කළාය. ඒ අනුව එදින ඇය ලක්ෂ දහයකට ආසන්න මුදලක් එම ගිණුම්වල තැන්පත් කළාය.

මුදල් තැන්පත් කර දින දෙකකට පසුව එනම් පසුගිය එකොළොස් වැනිදා ප්‍රසිද්ධ කුලී සමාගමකට අයත් සුඛෝපභෝගී මෝටර් රථයකින් කළු ජාතිකයකුට සමාන පුද්ගලයකු රතු පැහැති ගමන් බෑගයක් ද රැගෙන නදීකා ගේ නිවසට පැමිණියේය. එලෙස පැමිණි පුද්ගලයා පළමුව නදීකාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ගත්තේය. ඉන්පසු ගමන් බෑගය තුළ තිබූ තහඩු පෙට්ටියක් ගෙන පරිගණක මෘදුකාංග ඔස්සේ විවෘත කර ඇයට පෙන්නුවේය. එහි තිබුණේ කළු පැහැති කොළ බන්ඩල් ගණනාවකි.

“මේ මොනවද ඩොලර් කෝ.” නදීකා පැමිණි පුද්ගලයාගෙන් විමසුවාය.

“ටිකක් ඉවසන්න මිස්. ඩොලර් එහෙම ප්‍රසිද්ධියේ ගේන්න බැහැ. පොඩි වෙලාවක් දෙන්න මම ඩොලර් පෙන්වන්කම්.”

පැමිණි පුද්ගලයා එලෙස පිළිතුරු දෙමින් එම බන්ඩල්වලින් කොළ දෙකක් පමණ රැගෙන රසායනික ද්‍රව්‍යයක් එම කොළ මතට තබා උණුවතුරෙන් සේදුවේය. දෙවනුව ජෙල් වර්ගයක් දමා එම කොළ දෙක ඇල් වතුරෙන් සේදුවේය. ඉන් පසු ඩොලර් නෝට්ටු මාතු වී ඇත. එම නෝට්ටු දෙකම ඩොලර් 100ක වටිනාකමින් යුතු එවා විය. නදීකා එය දැක ඉමහත් සතුටට පත් වූවාය.

ඉන් පසු එම පුද්ගලයා “ඉතිරි නෝට්ටු සියල්ලම මෙලෙස සෝදාගත යුතු අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 65 ක පමණ මුදලක් වියදම් වන බවත් එම මුදල සූදානම් කර තමාට දැනුම් දෙන ලෙසත්” නදීකාට පැවසුවේය. එලෙස පවසා එම මුදල් අඩංගු පෙට්ටිය වසා දමා නදීකා අතට ලබා දී නිවසින් පිට වූයේ ය.

පසුදින එම පුද්ගලයා නදීකාට කෙටි පණිවුඩයක් එවමින් සඳහන් කර ඇත්තේ “තමා කොළඹ ප්‍රදේශයේ හෝටලයක නැවතී ඇති බවක් එහි බිල ගෙවීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙසත් ඉන් පසුව පැමිණ ඩොලර් නෝට්ටු පිළියෙළ කර දී ඉඩමේ ගනුදෙනුව අවසන් කරන බවත්ය.”

එම කෙටි පණිවුඩය පිළිබඳව සැක සිතූ නදීකා කළු පාට පෙට්ටියක් රැගෙන ඉංගිරිය පොලිසියට ගොස් සිදුවූ සිද්ධිය පවසා ඒ පිළිබඳව පැමිණිල්ලක් දැමුවාය. පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් සමග එක්ව එම කළු පැහැති පෙට්ටිය විවෘත කළහ. එහිදී ඔවුනට දැකගත හැකි වූයේ ඩිමයි කොළ බන්ඩල විස්සක් පවුඩර් දමා තැන්පත් කර තිබෙන අයුරුය. මෙම ලිපිය ලියන විටත් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි.

විදේශිකයන් සමඟ එකතු වී මෙවැනි ආකාරයේ වංචා සිදුකරන බොහෝ පිරිස් මෙරට සිටිති. විශේෂයෙන් මොවුන් සම්බන්ධ වන්නේ අන්තර්ජාලය හරහාය. එම නිසා ඔබත් මෙවැනි වංචනික ක්‍රියාවන්වල යෙදෙන පුද්ගලයන්ගෙන් ප්‍රවේසම් වන්න.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාදුක්ක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment