කෝටි දෙකක බඩු සමග නම ගිය අපරාධකරු බෝම්බ රසාක් දැලේ

451

නිවෙස්වලට රාත්‍රී කාලයේ ඇතුළු වී කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා දේපළ සමග මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්විය.

මේ අතර තිබී උණු කළ රන් පවුම් විස්සක්, කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක්, ඔටුවකුගේ අනුරුවක්, මිල කළ නොහැකි තඹ කාසි 2120 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ දහයක් ඇතුළු භාණ්ඩ තොගයක් භාරයට ගෙන ඇති බව පොලිසිය කියයි. මීට මාස කිහිපයක සිට කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පිහිටි නිවෙස්වලට රාත්‍රී කාලයේ ඇතුළු වී මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබුණි. මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන හරහා විමර්ශන සිදු කරමින් තිබියදී, කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි මහතා විසින් තවත් විමර්ශනයක් සිදුකරන ලෙසට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබුණි.

ඒ අනුව කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි මහතාගේ උපදෙස් හා සෘජු මගපෙන්වීම යටතේ සිදුකළ විමර්ශනයකදී පොලිසියට ලද තොරතුරකින් හා සී.සී.ටී.වී. දර්ශනවලට අනුව මාලිගාකන්ද ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.

කෝටි දෙකක බඩු සමග නම ගිය අපරාධකරු බෝම්බ රසාක් දැලේ

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලු‍පිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, නාරාහේන්පිට යන පොලිස් වසම් වල පිහිටි නිවෙස් පහකින් දේපළ, රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධීන් රැසක තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව සොරාගත් භාණ්ඩ මිලදී ගත් බව පැවසෙන මාලිගාකන්ද ආර් බී වත්ත ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී කෝටි දෙකකට අධික මුදල්, රන් භාණ්ඩ හා දේපළ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

කෝටි දෙකක බඩු සමග නම ගිය අපරාධකරු බෝම්බ රසාක් දැලේ

ඒ අනුව ඇපල් හා විවිධ වර්ගයේ අධික මිලෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකථන 120, ටැබ් පරිගණක 14, ලැප්ටොප් 06, විදේශ ගමන් බලපත්‍ර තුනක්, බැංකු කාඩ්පත් විසිහතරක්, අත් ඔරලෝසු 179, වාහන බැටරි 03, අගල් 54 එල්.ඊ.ඩී. රූපවාහිනියක්, ඩිජිටල් කැමරා 13, රූපලාවණ්‍ය උපකරණ තොගයක්, වැඩබිම් උපකරණ තොගයක්, මිල කළ නොහැකි පිත්තල හා තඹ භාණ්ඩ තොගයක්, මිල කළ නොහැකි විවිධ කාසි 2120, උණු කළ රන් පවුම් විස්සක්, කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක්, ඔට්ටුවකු ගේ අනුරුවක්, සහ ලක්ෂ දහයකට අධික මුදලක්, සොයා ගැනීමට හැකි වී තිබේ. මෙම භාණ්ඩ තොගයේ වටිනාකම කෝටි දෙකකට අධික බවත් මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ තොගයක් මේ තුළ තිබූ බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට මීට පෙර සිදු කළ දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් දැනට නඩු පවතින බවත්, ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස නම් කර ඇති බවත් පොලිසිය කියයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ භාණ්ඩ වල නියම හිමිකරුවන් හඳුනාගෙන එම භාණ්ඩ ඔවුන්ට ලබා දීමට අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් මාලිගාකන්දේ පදිංචි දේපළ කොල්ල කෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන “බෝම්බ රසාක්” (26) සහ අනිත් සැකකරු (30) අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බම්බලපිටිය පොලිසියට භාර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, කොට්ඨාස අංක 1 භාර සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ මහතාගේ උපදෙස් මත කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.කේ.ඩී. බී. මෙරීනෝ, පො.කො. (30861) විපුලසේන (67027) ප්‍රනාන්දු (88651) හේරත් (73389) තාරක (68039) මාලිංග (26024) කුමාර (34021) බණ්ඩාර (36597) මධුශංක, කා.පො.කො.(11358) ගයේෂා (11522) චතුරිකා (11868) සංජීවනී, පො.කො.රි (99023) වර්ණකුලසූරිය ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රභාත් විතාන සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment