කෝටි දෙකක සුබ පැතුම් අරන් ජපානයට යන නවයක්

353

තව දින 05 කින් විශ්වයේ විශිෂ්ටතම කී‍්‍රඩා සැණකෙළිය ආරම්භ වේ. සකුරා මල් පිපෙන රටේ එහි අගනුවර කේන්ද්‍ර කරගෙන කී‍්‍රඩකයෝ 11000 ක් පමණ එහි තම දක්‍ෂතා ප‍්‍රදර්ශනය කරති. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකා බලාපොරොත්තු පොදි බදින කී‍්‍රඩකයෝ 9 දෙනෙක් වෙති. කෝටි දෙකක ජනතා සුබ පැතුම් අරන් ජපානයට යන ඔවුන් මෙසේය.


 * ආසියාවේ කඟවේනා යුපුන්

 ටෝකියෝ ඔලිම්පික් සටනට ශී‍්‍ර ලංකාවෙන් සුදුසුකම් ලැබූ ක‍්‍රීඩකයන් නවදෙනා අතරින් සෘජුවම ඒ සඳහා සුදුසුකම් ලැබූ ක‍්‍රීඩකයා යුපුන් අබේකෝන් වේ. මීටර් 100 ඉසව්වේ දකුණු ආසියාතික වාර්තාව ඔහු පසුගිය වසරේ තම නම ඉදිරියෙන් සටහන් කර ගත්තේය. තත්පර 10.16 කින් මීටර් 100 ඉසව්වේ තරගය නිමා කළ යුපුන් ජර්මනියේදී එම දස්කම සිදුකළේය. යුපුන් මීටර් 100 ඉසව්ව වෙනුවෙන් වසර ගණනක් පුරා ප‍්‍රදර්ශනය කළ දස්කම්වල ප‍්‍රතිඵල මත ඔහු මේ වන විට මීටර් 100 ඉසව්වේ දක්‍ෂතා මත ලෝකයේ 51 වැනි ක‍්‍රීඩකයා ලෙස ශ්‍රේණිගතව සිටී.

 යුපුන්ගේ එම දක්‍ෂතාව ටෝකියෝ ඔලිම්පික් ශ්‍රේණිගත කිරිම්වල 45 වැනි ස්ථානයට ශ්‍රේණිගතව ඇත. ප‍්‍රසාද ලකුණු ගණන 1203 කි. ඒ අනුව ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා දක්‍ෂතා දක්වා ඇති යුපුන් පසුගිය මැයි මාසයේ ඉතාලියේ පැවැති තරගයකදී සිය සුපුරුදු දක්‍ෂතා තවත් වර්ධනය කර ගත්තේය.

 එමෙන්ම මීටර 60 ගෘහස්ථ තරගවල ද ජාතික ශූරයා ලෙස යුපුන් පත්ව සිටී. 2015 වසරේ සිට ඉතාලිය් සිටිමින් පුහුණුවීම් කටයුතුවල යෙදී සිටින යුපුන් 1996 වසරට පසුව මීටර් 100 ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරන පළමු ක‍්‍රීඩකයා වේ. 1996 වසරේදී චින්තක ද සොයිසා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 100 තරගයට සහභාගි වූවේය. මීටර් 100 ඉසව්ව තත්පර 10.22ක වේගයෙන් දිවගොස් දකුණු ආසියානු වාර්තාව පිහිටුවා තිබූ හිමාෂ එෂාන්ගේ වාර්තාව තත්පර 10.16ක් ලෙස යුපුන් සිය නම ඉදිරියේ සටහන් කර ගත්තේ තමා වේගවත් ශූරයකු බව ලෝකයට පෙන්වමිනි.

 * ජිම්නාස්ටික් බලාපොරොත්තුව මිල්කා

 ඉන්දීය උප මහාද්වීප කලාපයේ ක‍්‍රීඩකයන් වර්ගීකරණයේ අංක එක බවට පත්වෙමින් ජිම්නාස්ටික් ක‍්‍රීඩා ඉසව්වෙන් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට මිල්කා ගෙහානි ද සිල්වා ක‍්‍රීඩිකාව සමත් වූවාය. වර්ෂ 2014 දී කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ඇය එහි 06 වැනි ස්ථානයට පත් වූයේ අනාගතයේ සුබ පෙරනිමිති පිළිබඳව ශ‍්‍රී ලංකා මාතාවට ඉඟියක් ලබා දෙමිනි. යම්තම් වයස අවුරුදු 08ක් වන විට ජිම්නාස්ටික් ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත් වූ ඇය 2018 වසරේ පැවැති යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගි වූවාය. එහිදී කලාපීය වාර්තාවක් බිහිකිරීමට සමත් වූ මිල්කා ගෙහානි 2017 සහ 2018 වසරවල ජිම්නාස්ටික් ජාතික ශූරිය බවට පත් වූවාය. එමතු නොව 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු ක‍්‍රීඩා උළෙලේදී අටවැනි ස්ථානයට පත් වූ ඇය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් ප‍්‍රදර්ශනය කළ ඉහළම දස්කම තම නම ඉදිරියේ සටහන් කර ගත්තාය.

 වයස අවුරුදු 16ක් වන විට තමාට හිමි වූ ශිෂ්‍යත්වයක් මත ජපානයේ නේවාසිකව පුහුණුවීම් කිරීමට භාග්‍යවන්ත වූ මිල්කා මේ වන විට 18 වැනි වියේ පසුවන්නීය. 2020 වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවති සමස්ත ජපාන ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා නාමය එම තරග බිමට රැගෙන යෑමට ද මිල්කා සමත් වූවාය. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජිම්නාස්ටික් ඉසව්වෙන් ඔලිම්පික් වරම් හිමිකරගත් පළමු ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව වන්නේ ද මිල්කා ගෙහානිය.

 * තුරඟ හරඹ බාධක පනින මැටිල්ඩා

 තුරඟ හරඹ බාධක පැන්නීමේ ක‍්‍රීඩා ඉසව්ව ශ‍්‍රී ලාංකික අපට එතරම් හුරු පුරුදු දෙයක් නොවේ. ඒ ක‍්‍රීඩාවේ නම පවා ආගන්තුක වූ අපට මෙවර ඔලිම්පික් උළෙලේ පළමු සහභාගිත්වය සනිටුහන් වූයේ ද එම ඉසව්වෙනි. ජර්මනියේ පදිංචිව සිටිමින් ශ‍්‍රී ලංකාවට එම ගෞරවය ගෙන දීමට සමත් වූයේ මැටිල්ඩා කාල්සන් ක‍්‍රීඩිකාවයි. ශ‍්‍රී ලංකාවේ කන්ද උඩරට මහනුවර ඉපිද ජර්මනියේ හැදී වැඩුණු ඇය 2018 වසරේ දී නැවත මෙරට පුරවැසිභාවය ලබා ගත්තාය.

 ඔලිම්පික් තරග සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් 2019 වසරේ පැවති තරගවලදී ප‍්‍රසාද ලකුණු 350ක් ලබාගෙන කලාපීය රටවල් අතරින් දෙවැනි තැනට පත් වෙමින් මැටිල්ඩා ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වූවාය. එහෙත් එම තරග ක‍්‍රීඩක වර්ගීකරණයට අදාළ නොවන බවත්, ඒවා අනුමත වී තිබුණේ අත්වැරදීමකින් බව ද අන්තර්ජාතික අශ්වාරෝහක සංගමය විසින් එම තරගාවලිය අන්තර්ජාතික වර්ගීකරණයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් මැටිල්ඩාට ඔලිම්පික් වරම් අහිමිව ගියේය.

 එහෙත් ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් නැවත සිය ඔලිම්පික් ගමනට මඟ විවර කර ගත් මැටිල්ඩා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම ඉසව්ව නියෝජනය කරන පළමු ක‍්‍රීඩිකාව ද වන්නීය. 1984 සැප්තැම්බර් මස 27 වැනිදා උපත ලද මැටිල්ඩා ඔලිම්පික් තරග බිමට පිවිසෙන්නේ චොපින් නම් අශ්වයා මතිනි. යුරෝ ලක්‍ෂ හයක් එනම් ශ‍්‍රී ලංකා රුපියල් කෝටි 15ක් පමණ වටිනා අශ්වයකු ලෙස චොපින් පිළිබඳ වාර්තා වේ. මැටිල්ඩාගේ චොපින්ගේ සහාය පිණිස පශු වෛiවරයකු ඇතුළු නිලධාරීන් 4 දෙනෙක් ඔලිම්පික් උළෙලට සහභාගි වෙති.

 * සූරියවැවෙන් සකුරා පුරයට යන නිමාලි

sp2ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික් උළෙල සඳහා අවසන් වරට සුදුසුකම් ලැබුවේ නිමාලි ලියනආරච්චිය. මලල ක‍්‍රීඩාවෙන් ඔලිම්පික් පරිසාධන මට්ටම සලකා බැලූණු අවසන් දිනය වූ පසුගිය 29 වැනිදා නිමාලිගේ නම ඔලිම්පික් යන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකා ලැයිස්තුවට එක්වන විට බොහෝ දෙනෙක් මඳකට සතුටට පත් වූහ. ඒ ඇය ඔලිම්පික් තේරුණු නිසාවෙනි. එහෙත් නිමාලිගේ ජීවිත කතාව දන්නා ටික දෙනෙක් බොහෝ සෙයින් සතුටට පත් වූහ.

 සූරියවැව වැවේගම කනිටු විදුහලෙන් සිප් සතර හදරාන විට සිය පියා මියගොස් දුප්පත්බවේ පහළට වැටී සිටි ඇය අද පැමිණ තිබෙන්නේ අතිශයින් සතුටට පත්විය යුතු කඩඉමකි. මව එදිනෙදා කුලී වැඩකර උපයා ගත් මුදලත්, සිය අයියලා දෙදෙනා පාසල් යන ගමන් ගොවිතැන් කිරීමෙන් ලබා ගත් මුදලත් නිමාලිගේ කුසගිනි නිවාලීමට සමත් විය.

 ඒ උපන් අධිෂ්ඨානයෙන් ධෛර්යයෙන් ක‍්‍රීඩා පුහුණුවීම් කළ නිමාලි ලියනආරච්චි මීටර 800 ජාතික වාර්තාව 2016 වසරේදී සිය නම ඉදිරියේ සටහන් කර ගත්තාය. ගුවන් හමුදා කෝප‍්‍රල්වරියක් ලෙස සේවය කරන නිමාලි මේ වසරේ පැවති ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේ මීටර 800 ප‍්‍රථම ස්ථානයට පත් වූවාය. එසේම 2017 වසරේ පැවති ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදි ද මීටර් 800 රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය. ඒ රන් පදක්කම එම ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට හිමි වූයේ වසර 13කට පසුවය. 1989 සැප්තැම්බර් මස 19 වැනිදා උපත ලැබූ නිමාලි මීටර් 400 ඉසව්වෙන් ද දස්කම් දක්වන්නීය.

 * බැඞ්මින්ටන් තරුව නිලූක

 ඔලිම්පික් උළෙල තෙවරක් නියෝජනය කිරීම යනු අපවැනි රටකට ආශ්චර්යයවත් සිදුවීමකි. ඒ ආශ්චර්යය ශ‍්‍රී ලංකාවට ගෙන එන්නේ නිලූක ය. බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් තෙවැනි වරටත් ඔලිම්පික් බිමට පා තැබීමට තරම් භාග්‍යවන්ත වී ඇති නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම්වල 40 වැනි ස්ථානයේ රැඳී සිටින්නේය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 117 වැනි ස්ථානය නිලූකට හිමි වී ඇත.

 කෙසේ වෙතත් වසර 2013 දී ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව නිලූක 34 වැනි ස්ථානයට පවා පත්ව සිටියේය. ජාතික බැඞ්මින්ටන් පිරිමි කේවල ශූරතාව නිලූක 17 වරක් දිනා ගෙන ඇත. මේ ඔලිම්පික් තරගාවලි දෙකකට ශ‍්‍රී ලංකා නායකත්වය දැරීමට නිලූක සමත්ව සිටී. 2012 සහ 2016 වසරවලදී ඔලිම්පික් ගිය නිලූක 2012 වසරේදී එහිදී සුවිශේෂ දක්‍ෂතා දැක්වීමට සමත් වූයේය.

 මේ වන විට 36 වැනි වියේ පසුවන නිලූක පවසන්නේ මෙය තමා සහභාගිවන අවසන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල බවයි. පසුගිය වසරේ උගන්ඩාවේ පැවති ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගයකදී අනුශූරතාව දිනා ගැනීමට සමත් වූ නිලූක එම තරගාවලියට 2016 වසරේදී සහභාගි වී එහි ශූරතාවය හිමිකර ගත්තේය. එසේම පෘතුගාල ජාත්‍යන්තර තරගාවලයේදී ද ශූරතාවය හිමිකර ගත් නිලූක 2017 සහ 2019 වසරවලදී ද ජාත්‍යන්තර ශූරතා හිමිකර ගැනීමට සමත් වූවේය.

 * චාමර නුවන් ජූඩෝ පිටියට

 2016 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ජූඩෝ ක‍්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූ චාමර නුවන් ධර්මවර්ධන මෙවර ඔලිම්පික් උළෙලේදී ශ‍්‍රී ලංකා නාමය ජූඩෝ ක‍්‍රීඩාවෙන් ටෝකියෝ වෙත ගෙන යන්නේය. චාමර නුවන් ඔලිම්පික් උළෙලක් සඳහා නියෝජනය කිරීමට වරම් ලද දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2016 වසරේ පැවැති ඔලිම්පික් තරගාවලිය සඳහා ද චාමර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූවේය. එහිදී අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට එක්වීමට තරම් චාමරගේ දක්‍ෂතා ඉවහල් විය.

 යුරෝපා ජූඩෝ ශූරතා තරගාවලියේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ චාමරගේ එම දක්‍ෂතා තරගාවලිය පුරා කැපී පෙනුණි. 2016 වසරේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ රිදී පදක්කම ද හිමිකර ගැනීමට චාමර සමත් වුවේය. 1992 වසරේ මැයි මස 10 වැනිදා උපත ලැබූ චාමර නුවන් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ 5 වැනි ක‍්‍රීඩකයා බවට පත් වූවේය.

 * ඉලක්කයෙන් ජිවිත ඉලක්කය ජයගත් ටෙහානි

sp3වෙඩි තැබීමේ ඉසව්වෙන් ලබාගත් ඉලක්කය නිවැරදි විමෙන් ජීවිතයේ ඉලක්කවලට හරියටම පියනැගූ ටෙහානි එගොඩවෙල ශ‍්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සිටින තවත් බලාපොරොත්තුවක් වේ. වසර 2011 දී නාවික හමුදාව සමඟ එකතුවන ටෙහානි 2012 වසරේ සිට ශ‍්‍රී ලංකා ජාතික සංචිතයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූවාය.

 වායු රයිෆල ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලද ටෙහානි 2016 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී එම ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීම ඇයගේ විශිෂ්ට දක්‍ෂතාවයකි. එසේම 2019 වසරේ පැවති එම තරගාවලියෙන් ද ඇය එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය.

 ජාතික මට්ටමේ හොඳම වෙඩික්කාරිය ලෙස හත්වරක් වාර්තා පොත්වලට එකතු වී ඇති ටෙහානි මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ තෙවැනි ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකාව බවට පත් වූවාය. ටෙහානි මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන්නීය.

 * පිහිනුම් තටාකයේ හරඹ කරන මැතිව්

 ශ‍්‍ර‍්‍රී ලංකා වාර්තා රැසකට සහ දකුණු ආසියානු වාර්තාවලට හිමිකම් කියන මැතිව් අබේසිංහ පිහිනුම් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව ඔලිම්පික් උළෙලේදී නියෝජනය කරන්නේය. 2016 වසරේ පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී සහ 2019 වසරේ පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 7 බැගින් දිනා ගැනීමට මැතිව් අබේසිංහ සමත් වූවේය. එය දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලකදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයකු ඕනෑම ඉසව්වකින් දිනා ගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව වේ.

 එතරම් සුවිශේෂ දක්‍ෂතාවයකින් හෙබි මැතිව් අබේසිංහ ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර් 100 නිදහස් ආර ඉසව්වේ 6 වැනි ස්ථානයට ද පත් වූවේය.

 මැතිව්ගේ දෙවැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙය වන අතර, මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් ඔහු ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.

 * ළාබාලතම ක‍්‍රීඩිකාව අනිකා

 තායිලන්තයේ වාසය කරමින් පුහුණුවිම්වල නිරතවන අනිකා ගෆූර් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගිවන ළාබාලතම ක‍්‍රීඩිකාවයි. තවමත් ඇය 17 හැවිරිදි වියේ පසුවන්නීය. මීටර් 100 සහ මීටර් 50 සමනළආර ඉසව්ව නියෝජනය කරමින් ඇය ඔලිම්පික් පිහිනුම් තටාකයට ළඟා වනු ඇත. 2019 වසරේ පැවති ලෝක ජල ක‍්‍රීඩා ශූරතාවයට සහභාගි වූ ඇය දකුණු ආසියානු ක‍්‍රීඩා උලෙළේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටින්නීය.

 2018 වසරේ පැවති ජාතික වයස්කාණ්ඩ පිහිනුම් තරගාවලියේ ශූරිය බවට පත් වූ අනිකා මීටර් 50 සහ මීටර් 100 සමනළආර ජාතික වාර්තාවලට හිමිකම් කියන්නීය.

advertistmentadvertistment
advertistmentadvertistment