කෝටි දෙකේ කප්පම් තැත: ‘කඩුවෙල චමින්දගේ’ කල්ලිය අත්අඩංගුවට

503

හංවැල්ල ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ ‘කඩුවෙල චමින්ද’ නමැති පාතාල නායකයා මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක් නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශය මගින් ඊයේ (23 දා) අත්අඩංගුවට ගෙන ඇත.

‘කඩුවෙල චමින්ද’ නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සිට මෙම කප්පම් කල්ලිය මෙහෙයවා ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

හයදෙනකුගෙන් සමන්විත මෙම කප්පම් කල්ලිය හංවැල්ලේ ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබීමට යොදාගත් ගිනිඅවිය ද පොලිසිය භාරයට ගෙන ඇත. කඩුවෙල පාතාලයේ නායකයන් ලෙස සිටි සමයං සහ ඌරුජුවා යටතේ සිටි චමින්ද නමැති මෙම පාතාල මැරයාට එරෙහිව මිනිමැරුම් කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියක් සම්බන්ධයෙන් චෝදනා ඇති බව පොලිසිය පවසයි.

මේ වනවිට කඩුවෙල පාතාලයට නායකත්වය දෙන මෙම පාතාල මැරයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවද විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම පාතාල මැරයා හංවැල්ලේ ව්‍යාපාරිකයාට ඉකුත් 05 වැනිදා සිට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් කෝටි දෙකක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

එම මුදල් ලබා නොදීම නිසා මොහු සිය ගෝලබාලයන් යොදවා ව්‍යාපාරිකයාට අයත් කොස්ගම පිහිටි වාහන අලෙවිසලක තිබූ ලොරියකට ගිනිතබා ඇති අතර පසුගිය 20 වැනිදා රාති‍්‍රයේ ඔහුගේ නිවසට වෙඩි තැබීමට ද කටයුතු කර තිබිණි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන ආරම්භ කළ නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධීකාරි ලලිත් අබේසේකර වැඩ බලන අධ්‍යක්‍ෂ රොහාන් පෙරේරා, ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීහු මෙම සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්‍ෂකවරුන් වන ජයසිංහ, හේමන්ත, උප පොලිස් පරීක්‍ෂක බණ්ඩාර, සැරයන් (40248) ප‍්‍රසන්න, (84762) කුමාර ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment