කෝටි පහක කොකේන් ගිල දමා පැමිණි උගන්ඩා ගොවියා කටුනායකදී රේගු දැලේ

211

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් ගිල දමා පැමිණි උගන්ඩා ජාතිකයෙකු 28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි වියේ පසුවන ඔහු උගන්ඩාවේ ගොවියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. ඔහු උගන්ඩාවේ සිට 28 දින උදෑසන 09.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොහු පිළිබඳව ඇති වූ සැකය මත කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ දොරටුව අභියස දී ප්‍රශ්න කිරීමක් සිදු කර තිබූ අතර පසුව ඔහු ගුවන් තොටුපළ පරිලෝකන යන්ත්‍රයක් වෙත යොමු කිරීමේදී, ඔහුගේ ආමාශය තුළ කොකේන් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.

මොහුගෙන් වැඩිදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඔහු රුපියල් කෝටි පහක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 80 ක් පමණ ගිල දමා පැමිණ ඇති බව ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට එසේ ගිල දමා ඇති කොකේන් ගුලි අතරින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 17 ක් පමණ එළියට ගෙන තිබේ. මේ වනවිට මෙම උගන්ඩා ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රභාත් විතාන, කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment