කෝටි හතරහමාරක රට සල්ලි අරන් – චෙන්නායි යන්න ගිය ඉන්දියානුවා කටුනායකදී දැලේ

142

රුපියල් හාර කෝටි අටලක්ෂ හතළිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතිකයකු ඊයේ (05දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හතළිස් පස් හැවිරිදි ඉන්දීය ජාතිකයකු වන මෙම පුද්ගලයා ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මොහු ඊයේ අලුයම 02.30 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1208 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔහු කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වූ වැසිකිළියක් තුළට කෙටි වේලාවකදී කීප වාරයක්ම ගොස් පැමිණීම නිසා මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන පැමිණි ගමන් බෑගය ද සමග ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔහු රැගෙන විත් තිබූ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවාගෙන තිබූ කැනේඩියානු ඩොලර් 117,000 ක් සහ යූරෝ 19,000 ක් සොයා ගෙන තිබුණි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ විදේශ මුදල් තොගය භාර දී තිබේ.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී. සී. බටවල මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී මෙම ගුවන් මගියා නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබූ විදේශ මුදල් තොගය රාජසන්තක කළ අතර, ඔහුට රුපියල් 10,000 ක දඩයක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment