කෝටි හැත්තනවය තිස් අටට අඩුකර සීනි මනින පටියට යළිත් අත තියලා

357

ඉදිරිපත් වුණේ එයාලා විතරයි – වෛද්‍ය සැපයුම් අංශය

රුපියල් කෝටි හැත්තෑනවයක මුදලක් වැය කර ටෙන්ඩර් පටිපාටියෙන් තොරව දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණ මනින මාපක සහ පටි (lancets) මිලදී ගන්නට ගත් වෑයම අඩියක් පස්සට ගෙන කෝටි 38ක් වැයකර ඒවා මිලදී ගන්නට යළි වළිකන බව සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඉන්දීය ණය ක්‍රමය යටතේ එම මාපක තොගය ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීමට කලින් සැලසුම් කළේ මාපක හා පටි එකක් රුපියල් 85ක මිලකටය. මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වවල විරෝධය පළවීමෙන් පසු එම මාපක හා පටි එකක මිලදී ගැනීමේ මිල රුපියල් 37.42 ක් ලෙස දමා එම තොගය මිලදී ගැනීමට යළි උත්සාහ ගන්නා බව ද හෙතෙම කීය.

විවෘත ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ රුපියල් 22ක් 32ක් අතර මිලට එම මාපක හා පටි එකක් මෙරටට ලබාදීමට සමාගම් හයක් ඉදිරිපත්ව සිටියදී වැඩි මිලක් යටතේ එක්තරා සමාගමකින් එම තොගය මිලදී ගන්නට සැරසෙන්නේ මන්දැයි සොයා බලන ලෙස එම නිලධාරියා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මාපක හා පටි තොගය මිලදී ගන්නට සැරසෙන ඉන්දීය සමාගම ඖෂධ හා නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමක් නොවන බවත් අදාළ නිෂ්පාදන නිසි ප්‍රමිතියට නැති බවත් හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛi සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ තුසිත සුදර්ශන මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියාසිටියේ ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ

මෙම ඖෂධ සැපයීමට ඉදිරිපත් වී ඇත්තේ මෙකී ඉන්දීය සමාගම පමණක් බවයි. අදාළ සමාගම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නැති මුත් ප්‍රමිතියෙන් තොර නම් ඒවා මිලදී ගැනීමට කිසිසේත් ඉඩ නොලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment