කෝටි 1300 ක් පාඩු කරගෙන වැඩි මිලට ගල්අඟුරු නැව් 11 ක් ගේන්න අනුමැතිය

243

වැඩි මිල ගණන් යටතේ නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු නෞකා 11 ක් ගෙන ඒමට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බවත් එම ගනුදෙනුවෙන් රටට සිදුවන පාඩුව රුපියල් කෝටි 1300 කට වැඩි බවත් ගල්අඟුරු බලාගාර ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට වෙළෙඳපොළේ ගල්අඟුරු මිල පහත බැස ඇති නිසා ඊ ප්‍රොකිව්මන්ට් නමැති කෙටි කාලීන ක්‍රමයට ටෙන්ඩරයක් කැඳවනු ලැබුවහොත් මෙට්‍රික්‌ ටොන් එකක් ඩොලර් 200 ට අඩුවෙන් ලබාගත හැකි බවත් බලාගාර ආරංචි මාර්ග පවසයි. 2021 ටෙන්ඩරයට අනුව පෙරේදා (20 දා) පැමිණි නැව් මෙට්‍රික්‌ ටොන් එකක් ඩොලර් 186 වැනි මිලකට ගොඩබෑම සිදුකරමින් සිටින බවත් එම ආරංචි මාර්ග පැවසීය. 2021 ටෙන්ඩරය මගින් මිල උච්චාවචනය අනුව ගල්අඟුරු ගැනීමට එකඟ වීම නිසා මෙටි්‍රක් ටොන් එකක් 240 කට අත්සන් කළත් එය මේ වනවිට 186 ට අඩු වී ඇති බවත් එම ආරංචි මාර්ග කීය.

2022 වසරේ කැඳවූ ටෙන්ඩරයට විවිධ පාර්ශ්ව වලින් චෝදනා එල්ල වීම නිසා එය අවලංගු කර 2021 ටෙන්ඩරයට අනුව ගල්අඟුරු මිලදී ගැනීම සිදුකරමින් පවතී. 2021 ටෙන්ඩරයෙන් නැව් 21 ක් මිලදී ගැනීමට අදහස් කර තිබෙන අතර ඉන් නැව් 15 ක් පෙරේදා (20 දා) වනවිට මෙරටට පැමිණ තිබිණි. 16 වැනි නැව ද මෙරටට ළඟා වෙමින් පවතී.

එවැනි තත්ත්වයක් යටතේ ඉන්ධන ගෙන්වන සමාගමකින් තවත් ගල්අඟුරු නැව් 11 ක් මෙටි්‍රක් ටොන් එකක් රුපියල් 240 ක මිලට ගැනීමට එකඟතාවට පැමිණ ඇතැයි ද එම සමාගමෙන් ගල්අඟුරු මිලදී ගතහොත් රුපියල් බිලියන 13 කට අධික පාඩුවක් සිදුවිය හැකි බව ද එම ආරංචි මාර්ග පැවසීය. මේ සම්බන්ධයෙන් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පසුගියදා පැමිණි ගල්අඟුරු නැවෙන් ගල්අඟුරු ගොඩබෑම සිදු කළේ මෙට්‍රික්‌ ටොන් එකක් ඩොලර් 187 කට බවය. 2021 ටෙන්ඩරයට අදාළව නැව් 21 ක් මිලදී ගැනීමට නියමිත බවත් ඉන් 15 වැනි නැව පැමිණ 16 වැනි නැව පැමිණෙමින් සිටින බවත් හෙතෙම පැවසීය.

එළඹෙන අප්‍රේල් වාරකන් කාලයට පෙර බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නැව් 31 කට අදාළව 2021 ටෙන්ඩරයට අමතරව තවත් නැව් 09 ක් හෝ 10 ක් මිලදී ගැනීමට සමාගම් දෙකක් තෝරාගෙන ඇත. ඉන් එක් සමාගමක් මෙට්‍රික්‌ටොන් එකක් ඩොලර් 230 කටත්, අනෙක් සමාගම මෙට්‍රික්‌ ටොන් එකක් ඩොලර් 240 කටත් ලබාදීමට එකඟ වී ඇති බවත් එම නැව්වලින් ගෙන්වන ගල්අඟුරු භාවිතා කිරීමේදී මුදල් ගෙවීමේ පදනම මත ගෙන්වන බවත්, ඒවාට ලබන ජුනි මාසයේ සිට මුදල් ගෙවීමට අදහස් කරගෙන සිටින බවත් සභාපතිවරයා කීවේය.

මේ අතර ඊයේ (21 දා) වනවිට ගල්අඟුරු සංචිත පවතින්නේ දින 32 කට පමණ බවත් ගණන් බලා ඇත. 2021 ටෙන්ඩරයට අදාළ ඉතිරි නැව් කිහිපය ගෙන්වීමෙන් පසුව ජුනි මස දක්වා එම ගල්අඟුරු භාවිතා කළ නොහැකි නිසා (අවසන් වන නිසා) වැඩි මිලට ගෙන්වන ලද ගල්අඟුරු ජුනිවලට පෙර භාවිතා කිරීමට සිදුවන බව ද බලාගාර ආරංචි මාර්ග කියා සිටියේය. මෙම ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් රටට විශාල පාඩුවක් සිදුවන නිසා ගල්අඟුරු මිල පහත වැටී ඇති මෙම අවස්ථාවේ ගල්අඟුරු ගැනීමට නව ටෙන්ඩරයක් කැඳවන ලෙස ද එම ආරංචි මාර්ග ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment