කෝටි 200ක මත්කුඩු සමග මාළු බෝට්ටුව ‘නේවි’ දැලේ

1

හෙරොයින් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් හය දෙනකු බටහිර මුහුදේදී ඊයේ (25දා) නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 200කට අධික බව පැවැසේ.

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් තොගයක් රැගෙන එන බවට නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත දිවයිනට බස්නාහිර දෙසින් මුහුදේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව කිලෝ මීටර් 229ක් දුරින් යාත්‍රා කරමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය “දිවයින” ට පැවැසීය.

ආරක්ෂක අංශවල අවධානය මඟහැර දිවයිනට බස්නාහිර දෙසින් මොවුන් මෙම හෙරොයින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යමින් සිටියා ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව හෙතෙම කීය.

හෙරොයින් සමග නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව හා සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන එමින් තිබෙන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment