කෝටි 220 ක කුඩු මල්ලේ අයිතිකරුවා ඉන්නේ ඩුබායි…

355

* දකුණේ අංක එක වූ හරක් කටාගෙ වුවමනාව රටෙත් අංක එක වෙන්න

 ගයාන් සමරසිංහ

ඩුබායි රාජ්‍යයේ එක්තරා නිවසක් තුළ රහසිගතව දෙදෙනෙක් ඉස්තරම් වර්ගයේ මත්පැන් බෝතලයක් පානය කරමින් සිටී. එලෙස පානය කරමින් සිටින අතරතුර ඔවුහු මෙලෙස කතාබස් කළහ.

 ”අමල්, මේ පාර වැඩිපුර කුඩු ටිකක් ලංකාවට යවන්න ඕනා.”

 ”ඇයි නදුන් අයියේ එකපාරටම එහෙම හිතුණේ.”

 ”එකක් දැන් බඩු අඩුයි ලංකාවේ. පහුගිය ටිකේ දිගට හරහට බඩු ඇල්ලූවනේ. අනික මගේ අය ඉක්මනට බඩු ඉල්ලනවා.”

 ”එහෙමද? සෙට්කරලා යවමු බඩු ටිකක්.”

 ”අද හෙටම බඩු ටිකක් යවන්න ඕනා.”

 ”ඉතින් කල් දාන්න මොකටද? අපි අදම ඕඩරයක් දාමු.”

 ”මේ පාර මම බඩු ටිකක් වැඩිපුර යවනවා.”

 ”බය නැද්ද අයියේ ගොඩක් යවන්න.”

 ”අවුලක් වෙන එකක් නැහැ. මම අපේ කොල්ලොත් එක්ක කතා කරල තියෙන්නෙ. උන් කිව්වා කොරෝනා නිසා දැන් කුඩු ගැන වැඩිය හොයන්නේ නැහැ කියලා.”

 ”ඒකත් එහෙමද?”

 ”ඒකයි මම ටිකක් වැඩිපුර බඩු යවන්න තීරණය කළේ. කොරෝනා අස්සෙ අපි අපේ ගේම ගහගන්න ඕනා.”

 ”ඒක ඇත්ත නදුන් අයියේ. අපි කොච්චර යවනවාද එතකොට.”

 ”කිලෝ දෙසියයක් වත් යවන්න ඕනා. නැත්තං වැඩක් නෑ.”

 ”අයියා කියනවා නම් එච්චරයි. මේවා පුරුදු වෙන්න කරපු වැඩ නෙවෙයිනේ.”

 ”ඒක තමයි බං. මට ඕනේ ලංකාවේ නම්බර් වන් ඩ‍්‍රග් ඞීලර් වෙන්න. එක මම ළඟදිම කරනවා.”

 ”අයියට ඒක කරන්න පුළුවන්. මධුෂ් අයියත් නැහැනේ.”

 ”ඒ උනාට තව දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා මේකට දඟලන. මම ඒ ගැනත් බලා ගන්නම්.”

 ”උන්ට මොළෙන් ගහමු. මේ පාර කාගෙන්ද බඩු ගන්නේ.”

 ”මොහොමඞ් කාරයගෙන් ගමු. උගේ බඩු හොඳයි. ඒ වගේම හොඳ ඩිස්කවුන්ට් එකකුත් දෙනවා මට.”

 ”කල් දාන්න මොකටද එහෙනම්. ලංකාවේ වැඩ ටික හරි නම්. අදම ඕඩරය දාමු.”

 ”එහෙ වැඩ ටික අකුරටම වේවි. මම උපදෙස් දීලා තියෙන්නේ. ඒ ගැන බයවෙන්න දෙයක් නෑ. හොඳ කොල්ලෝ ටිකක් ඉන්නවා මට.”

 ”කතාව එලෙස අවසන් වූහ. දෙදෙනා කතා කරගත් පරිදි හෙරොයින් කිලෝ දෙසීයක් මෙරටට එවීමට ඔවුහු එලෙස සැලසුම් සකස් කළහ.

drugs2මෙම හෙරොයින් ජාවාරමේ මහ මොළකරු නදුන් චින්තක නොහොත් ”හරක් කටාය.” ඔහු මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන තිබේ. හෙරොයින් තොග පිටින් මෙරටට එවන මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටී.

 අමිල නොහොත් සන්සයින් සුද්දාට වෙඩි තැබීම සහ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හරක් කටා කලක් බන්ධනාගාර ගත ව සිටියේය. එලෙස සිටි හරක් කටා ඇප මත නිදහස් වන්නේ දැනට මාස කීපයකට ඉහත දීය.

 ඇප මත නිදහස් වී හරක් කටා මෙරට සිටියේ සති කිහිපයක් පමණි. ඉන්පසු ඔහු ආරක්ෂක අංශවලටත් හොර රහසේම ඩුබායි රාජ්‍යය වෙත පැන ගියේය. ඔහු එලෙස පැන යන්නේ පාතාල නායකයෙකුගේ උදව් උපකාර මතය.

 ඩුබායි රාජ්‍යයට පැන ගිය පසු හරක් කටා හෙරොයින් ජාවාරමේ නිරත විය. ඔහු මෙරටට හෙරොයින් එව්වෙ තොග පිටින්ය. කලක් යද්දී දකුණු පළාතේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරු වශයෙන් ප‍්‍රසිද්ධියට පත්වූයේ මෙම හරක් කටාය. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව හෙරොයින් ජාවාරමේ යෙදී මොහු මසකට රුපියල් කෝටි විස්සකට අධික මුදලක් උපයයි.

 හරක් කටාගෙ හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප‍්‍රබල පුද්ගලයන් කීපදෙනෙකු මාතර වැලිගම ප‍්‍රදේශයේ ජීවත් වේ. ඔහු මෙරට හෙරොයින් ජාවාරම සිදුකර ගෙන යන්නේ එම පුද්ගලයින් හරහා ය.

 පසුගිය දිනක හරක් කටා ඔහුගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ මෙරට ප‍්‍රධාන පෙළේ අයෙකුට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවේය.

 ”මචං රත්නේ මේ පාර බඩු ටිකක් වැඩිපුර මම එවනවා. කිලෝ දෙසීයක් විතර තියෙනවා. වෙනද විදිහටම බහුදින යාත‍්‍රාවක පලයන් මාළු අල්ලන විදිහට.”

 ”දකුණු වෙරළ මැදදි බඩු ටික ගනින්. කිලෝ එක ගානේ පැක් කරලා තියෙන්නේ. වෙනදා වගේ අකුරටම වැඬේ කරපන්. මම යන්න ඕන දිනයයි වෙලාවයි කියන්නම්.”

 හරක් කටා මෙරට සිටින ඔහුගේ ප‍්‍රධාන ජාවාරම්කරුට එවීමට නියමිත හෙරොයින් තොගය පිළිබඳ විස්තර එලෙස පැවසුවේය. විස්තරවලට අනුව එම ජාවාරම්කරු තවත් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන එම හෙරොයින් තොගය භාරගැනීම සඳහා සූදානමින් සිටියේ ඒ සඳහා සැලසුමක් ද සකස් කර ගනිමින්ය.

 එම පිරිස අතර සිටි පුද්ගලයකු දිනක් මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවකදී ඔහුගේ මිතුරන්ට මෙලෙස පැවසුවේය.

 ”මචං බලපං තව ටික දවසකින් මම ඉන්න තැන. අපි ළඟදීම ලොකු බිස්නස් එකක් කරනවා. ඒකෙන් මට සැලකිය යුතු ගාණක් එනවා. උඹලා දන්නවනේ අපේ බිස්නස්. එදාට උඹලට බොන්න දෙන්නෙ විස්කි. අන්න ඒක හොඳට මතක තියා ගනිල්ලා.”

 ”මොකක්ද මචං ඔය බිස්නස් එක.”

 එතැන සිට අයෙක් ඔහුගෙන් විමසුවේ ය.

 ”උඹලා දන්නවනේ අපේ බිස්නස්. මේ පාර හරක් කටා හෙරොයින් තොගයක් එවනවා. කිලෝ දෙසීයකටත් වැඩියි. අපි එක

 ගන්න සැලසුම් කරලා තියෙන්නෙ. මේ එකොළොස් වැනිදාට. මුහුද මදදිදි ගන්න තියෙන්නෙ. ඒක ගත්තට පස්සේ අපි සේරම ගොඩ. මං මේක උඹලට ෆිට් එකට කිව්වේ. කාටවත් කියන්න එපා.”

 කතාව එතනින් අවසන් විය. ඔහු පැවසූ එම හෙරොයින් තොගය පිළිබඳ කතාව තවත් පුද්ගලයකු හොර රහසේ අසාගෙන සිටියේය. ඔහු ඔත්තුකරුවෙකි.

 එම ඔත්තුකරු අසා ගත් සියලූ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙකුට පැවසුවේය. ඉන්පසු එම නිලධාරියා ලද තොරතුරු සියල්ල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලබා දුන්නේය.

 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු ඉන්පසු මේ පිළිබඳ විමසිල්ලෙන් සිටියහ. ඒ සමඟ නාවික හමුදාවේ සහ වෙරළ ආරක්ෂක අංශයේ නිලධාරීන්ව ද මේ පිළිබඳව දැනුවත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු කටයුතු කළහ.

 මේ කිසිවක් නොදත් හරක් කටා සුපුරුදු පරිදි තම විදෙස් ජාවාරම්කරුවන් හරහා කිලෝ දෙසීයකට අධික හෙරොයින් තොගය මෙරටට ගෙන්වීම සඳහා භාරදී තිබුණි. එම පිරිස දින කිහිපයක සිට ඉතාමත් සූක්ෂම අයුරින් එම හොරොයින් මුහුදු මාර්ගය ඔස්සේ ප‍්‍රවාහනය කළහ.

 ඉකුත් මැයි මස 11 වැනිදා ධීවර කටයුතු සඳහා යැයි කියමින් බහුදින ධීවර යාත‍්‍රාවක් වැලිගමින් මුහුදු ගොස් තිබිණි. ඒ හරක් කටාගෙ ගෝල බාලයන් පිරිසකි. ඇත්ත වශයෙන්ම ඔහු එලෙස ගියේ ධීවර කටයුතු සඳහා නොව හෙරොයින් තොගය ලබාගැනීම සඳහාය.

 එම බහුදින ධීවර යාත‍්‍රාව ගැඹුරු මුහුදේදී වෙනත් යාත‍්‍රාවකින් රැගෙන ආ හෙරොයින් තොගය භාරගත්තේය. එලෙස හෙරොයින් තොගය බාරගත් පසු එම යාත‍්‍රාව යළි වැලිගම මුහුදු තීරය ආසන්නයට පැමිණියේය.

 වැලිගම මුහුදු තීරයට පැමිණි පසු එම හෙරොයින් තොගය වෙරළ තීරය වෙත රැගෙන ඒම සඳහා තවත් කුඩා යාත‍්‍රාවක් පැමිණ තිබිණි.

 ඉතා සූක්ෂම ලෙස ගෑස් සිලින්ඩර් සහ මලූ කීපයක එම හෙරොයින් කිලෝ ග‍්‍රෑම් දෙසීය අසුරා තිබුණි. එලෙස අසුරා තිබූ හෙරොයින් කුඩා යාත‍්‍රාවට පටවාගෙන වැලිගම පොල්අතුමෝදර වෙරළ තීරය බලා යාත‍්‍රා කිරීමට සූදානම් විය.

 ඔවුනට එලෙස යාත‍්‍රා කිරීමට හැකිවූයේ ස්වල්ප දුරක් පමණි. ඉතා සූක්ෂම අයුරින් ඒ දෙස බලා සිටී නාවික හමුදාව, වෙරළ ආරක්ෂක බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් එම පිරිස හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත්හ.

 අත්අඩංගුවට ගත් එම මොහොතේ කුඩා යාත‍්‍රාවේ සිටියේ ජාවාරම්කාරයන් තිදෙනකු පමණි. ඉන්පසු නාවුක හමුදාව කළ මෙහෙයුමකදී බහුදින ධීවර යාත‍්‍රාව සමග එහි සිටි සැකකරුවන් හය දෙනකු ද අත්අඩංගුවට ගත්හ.

 ඉන්පසු ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව හෙරොයින් තොගය භාර ගැනීම සඳහා වැලිගම පොල්අතුමෝදර වෙරළ තීරය ආසන්නයට පැමිණි සිටි ජාවාරම්කරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගැනීමට ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු සමත් වූහ.

 එලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ ජාවාරම්කරුවන් 12 දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන ගියහ. එලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 220කට අධික බව පැවසේ.

 වැලිගමදී එලෙස අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 220 ක් වටිනා හෙරොයින් තොගය මෙරටට එවනු ලැබූ බව කියන නඳුන් චින්තක නොහොත් හරක් කටා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීයකු පැවසුවේය.

 මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව ඇති මත්ද්‍රව්‍ය චෝදනා සියල්ල එක්රැස් කර ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබාගෙන මොහු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටියි.

 මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානියා වන නඳුන් චින්තක නොහොත් හරක් කටා මිදිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

advertistmentadvertistment
advertistmentadvertistment