කෝටි 23කට අධික මත්ද්‍රව්‍ය හා  රු. ලක්‍ෂ 30 ක් සමග  පෑලියගොඩදී 3 ක් දැලේ

135

කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන්, හෑෂ්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33 කට අධික ප්‍රමාණයක් සහ රුපියල් ලක්‍ෂ 30 ක මුදලක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ මූලස්ථාන පොලිසිය ඊයේ (28 වැනිදා) අලුයම සමත්විය.

පෑලියගොඩ පොලිසියේ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ට ලද තොරතුරක අනුව මෙම සැකකරුවන් පෑලියගොඩ, මීගමුපාර, ඔලියමුල්ලේදී කොටුකරගෙන තිබේ.

මෙහිදී කොකේන් කිලෝග්‍රෑම් 1 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 24 යි ග්‍රෑම් 500 ක්, කුෂ් කිලෝග්‍රෑම් 8 ක් මොවුන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

එහිදී සැකකරුවන් විසින් වැටලීම සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ 30 ක අල්ලසක් දීමට තැත්කර ඇති අතර, එම මුදලද සැකකරුවන් සමඟ භාරයට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ අවුරුදු 33, 34 හා 49 යන වයස්වල පසුවන නාත්තන්ඩිය හා වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ ජීප් රථය හා ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.

පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. ඒ. කළුවිතාරණ මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නන්දලාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ  ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment