කෝටි 23ක කොකේන් රෙදිවල පොඟවාගෙන කටුනායකට ආ බොලීවියානු තරුණිය මාට්ටු!

472

රුපියල් කෝටි 23ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය තරුණියක් ඊයේ (28දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

සැකකාරිය 26 හැවිරිදි බොලීවියානු ජාතික තරුණියකි. ඇය ඊයේ උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඇය එක් ගමන් මල්ලක් පමණක් රැගෙන විත් තිබූ අතර ඒ තුළ ඇඳුම්, රෙදිපිළි සහ බෑගයේ ඇතුළත වූ රෙදිවලින් නිම කර ඇති සාක්කු ඇතුළු කොටස් කොකේන් දියරයකින් පොඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය ද්‍රාවණයක් සේ සකස් කර ගෙනැවිත් ඇත.

මෙසේ රැගෙන ආ කොකේන් ද්‍රාවණය තුළ කොකේන් මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය ඉහළ මට්ටමක පවතින බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරියෙක් පැවසීය. වෙනත් රසායනික ද්‍රව්‍යයක් යෙදීමෙන් කොකේන් ද්‍රාවණය තුළ පොඟවා ඇති රෙදි පිළිවලින් එම කොකේන් ඉතා සූක්ෂම ආකාරයට ඉවත් කර ගැනීමේ තාක්ෂණික ක්‍රමයක් මෙම ජාවාරම්කරුවන් භාවිත කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය කිලෝ 04 යි ග්‍රෑම් 600 ක් බර වන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 230ක් හෙවත් රුපියල් කෝටි විසි තුනකි.

ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර දීම සඳහා ඇමෙරිකානු ඩොලර් 500ක මුදලක් හිමිවීමට නියමිතව තිබූ අතර, ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ ලබා දෙන දුරකථන ඇමතුමකට අනුව කිසියම් පුද්ගලයකු පැමිණ භාර ගැනීමට නියමිතව තිබූ බව රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ වැඩිදුර විමර්ශන රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතාගේ උපදෙස් මත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාර අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඊ.ආනන්ද ඊශ්වරන්, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කමල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන නුවන් අබේනායක, ශ්‍රී ලාල් විජේවර්ධන සහකාර රේගු අධිකාරීවරුන් වන සමන් පෙරේරා, සිසිර කුමාර, මල්ෂාන් පෙරේරා, සමීන් චතුර, ෂෙහාන් හෙට්ටිආරච්චි, සඳුන් ජයසූරිය සහ මොහොමඩ් සලීම් යන මහත්වරු සිදු කරති.

ප්‍රභාත් විතාන සහ කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment