කෝටි 29ක මැණික් පන්නද්දී අල්ලයි

1394

කටුනායක ගුවන්තොටේ මෑත ලොකුම මැණික් වැටලීම
ඔරුගොඩවත්තේ කාන්තාව අත්අඩංගුවට
හඳුනන්නේ නැති කෙනෙක් පාර්සලය දුන්නා – රු.5000ක් දෙන්නම් කිව්වා – සැකකාරිය කියයි

රුපියල් විසිනව කෝටි දශලක්ෂයක් (මිලියන 291) වටිනා මැණික් ගල් තොගයක් නීත්‍යානුකූල නොවන ආකාරයට සිය සිරුරේ සඟවා ගෙන ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ දෙමළ ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (30 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

මෑත ඉතිහාසයේ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් විශාලතම මැණික් තොගය මෙය බව රේගු ආරංචි මාර්ග පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාව 30 හැවිරිදි වියේ පසු වන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම කාන්තාව ඊයේ උදෑසන 7.00 ට පමණ ඉන්දියාවේ චෙන්නායි නගරය බලා යන ගුවන් යානයෙන් පිටත් වීමට පැමිණ සිටි අවස්ථාවේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන්ට මෙසේ කොටු වී ඇත.

සැකකාර කාන්තාව ගුවන්තොටුපළේ ස්කෑන් පරීක්ෂා යන්ත්‍ර කීපයක් පසු කර ගුවන් යානයට ඇතුළු වීමට පෙර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍රයේදී කොටු වී ඇත.

සැකකාර කාන්තාව සිය ඇඳුමේ සඟවා ගෙන සිටි මෙම මැණික් තොගය අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරීන් පසුව ඇය ගුවන්තොටුපළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබේ.

සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන් නාඳුනන පුද්ගලයකු විසින් මෙම මැණික් සහිත පාර්සලය තමන්ට භාරදුන් බවත් එය ඉන්දියාවට රැගෙන යෑම වෙනුවෙන් රුපියල් 5000 ක මුදලක් ලබා දීමට පොරොන්දු වූ බවත්ය.

චෙන්නායි නගරයේදී එය භාරදීමට නියමිතව සිටින පුද්ගලයා තමන් නොහඳුනන බව ද ඇය ප්‍රකාශ කර ඇත.

එහෙත් රේගු ආරංචි මාර්ග පවසන්නේ සැකකාර කාන්තාව කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි. මෙම කාන්තාව නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය කර මුදල් ලබා ගැනීම සිය රැකියාව ලෙස කරන තැනැත්තියක් බවට සැකකරන බව ද රේගු ආරංචි මාර්ග පවසයි.

රේගු ආරංචි මාර්ග කියා සිටියේ මෙම මැණික් තොගය රාජසන්තක කර එහි වටිනාකම හා සමාන දඩයක් ඇයට නියම කිරීමට නියමිත බවයි.

මීට මාස කීපයකට උඩදී රුපියල් කෝටි 8 ක රන් තොගයක් සමඟ ප්‍රංශ ජාතිකයකු කටුනායක රේගුවට කොටු වූ අතර ඔහුට ද රුපියල් කෝටි 8 ක දඩයක් නියම කළ බව රේගු ආරංචි මාර්ග කීය. අදාළ දඩය ගෙවා ගැනීමට නොහැකිව ප්‍රංශ ජාතිකයා මේ වනවිට බන්ධනාගාරගතව සිටියි.
හේමන්ත රන්දුණු, කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment