කෝටි 50 ක් වැයකර අලුත්වැඩියා කළ කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරය යළි අක්‍රීය වෙලා

137

මෙගාවොට් එකසිය හැටපහහකින් සමන්විත කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරය සති දෙකකට පෙර නැවත වතාවක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී තිබේ.

මීට පෙර 2019 වසරේදී බලාගාරයේ බෙයාරින් එක සහ රෝටරය එකවර කැඩීයෑම නිසා එය විදේශ රටවල් කිහිපයකට යවා අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි පනහක මුදලක් වැයකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු සහ අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින’ ට පැවසීය.

එම අවස්ථාවේ මෙම බලාගාරව අක්‍රීයවීම සම්බන්ධයෙන් හිටපු ලංවිම සභාපති විජිත හේරත් මහතා විසින් වාර්තාවක් කැඳවා තිබූ අතර එම නඩත්තු කටයුත්තට දින 585 ක් ගතවී තිබුණි. බලාගාර පද්ධතියෙන් ඉවත්ව තිබූ එම කාලයේ මණ්ඩලයට දළ වශයෙන් රුපියල් කෝටි 2100 ක පාඩුවක් සිදුවී තිබූ බව ද හෙළිවී ඇත.

එම නඩත්තු කටයුත්තේදී විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 450 ක් වැයකර ඇත.

එම නඩත්තු කටයුතු ද නිසි පරිදි සිදු නොවීම නිසා 2021 අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් 150,000 ක් වැයකර තාවකාලික වෙල්ඩින් පැලැස්තරයක් කළ බවත් ඉකුත් සැප්තැම්බර් වන විට බලාගාරය ක්‍රියාත්මක කර ඇත්තේ පැය 800 ක පමණ කාලයක් පමණක් බවත් නිශාන්ත මහතා පැවසීය.

අනතුරුව සංඥා නිකුත් කරමින් තිබියදී බලාගාරය ක්‍රියාත්මක කිරීම නිසා එය කැඩී යා හැකි බව තම සංගමය මීට පෙර මාධ්‍ය මගින් හෙළි කළ බවද ඒ මහතා කීය.

බලාගාරය තුන්වන වතාවටත් කැඩීගිය පසු ඒ බව හෙළි නොකර රුපියල් මිලියන 40 ක් වැයකර ගුවන් මගින් එංගලන්ත සමාගමකින් අමතර කොටස් ගෙන්වාගෙන ඇත. බලාගාරයේ ලුබ්‍රිකන් සමග බෙයාරින් කොටස් මිශ්‍රවි තිබුණහොත් එය ශුද්ධකිරීම සඳහා රුපියල් කෝටි 200 ක් අමතරව වැය කිරීමට සිදුවේ. විදුලි බලාගාරයක් මෙලෙස නොසැලකිල්ලෙන් පවත්වාගෙන ගිය නිලධාරීන් සම්බන්ධව අපක්ෂපාතී පරීක්‍ෂණයක් සිදුකර ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, මේ සියලු පව් කරගහන්නට විදුලි පාරිභෝගිකයන්ට සිදුවන බවත් නිශාන්ත මහතා කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment