කෝටි 92ක බාල බෙහෙත් රටට ගෙනත්… භාවිතයෙන් ඉවත් කරලා

117

ඖෂධ මිල අහස උසට නැඟ තිබේ. කොටින්ම කිවහොත්, ඖෂධ මිල, රට්ටුන්ට දරාගැනීමට නොහැකිවී ඇත. වෙනදා රුපියල් පන්සියයක් වැයකොට මිලදී ගත්, බෙහෙත් තුන්ඩුවේ ඇති ඖෂධ මිලදී ගැනීමට අද වනවිට රුපියල් හාරදහසක, පන්දහසක, පමණ මුදලක් වැයකිරීමට රෝගීන්ට සිදුවී ඇත. විවිධ වූ රෝගවලින් පීඩා විඳින විශ්‍රාමිකයන්ට පවා මාසිකව ලබාගත යුතු ඖෂධ ලබා ගැනීමට විශ්‍රාම වැටුප පවා ප්‍රමාණවත් නොමැත. ඒ විතරක් නොව රටේ පවතින ආර්ථික අර්බුදය සහ නොයෙකුත් අලකලංචි අස්සේ පීඩාවට පත්ව සිටින රට්ටුන් ඖෂධ හිඟය නිසාද, දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. ඇතැමුන්ට ඖෂධ මිලදී ගැනීමට වී ඇත්තේ, කණකර බඩු, නිවසේ බඩුමුට්ටු, උගස් කොටය.. ඒසේ මිලදී ගන්නා ඇතැම් ඖෂධ ප්‍රමිතියෙන් තොරය.

● ඖෂධ හිඟයෙන් බැටකන රෝගී ජීවිත

ඖෂධ හිඟයෙන් සහ ඖෂධවල මිල දරා ගැනීමට නොහැකිව රෝගීන් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටියදී කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ඖෂධ කල්ඉකුත් වන්නේය. ඒ විතරක් නොව කෝටි ගණන් වටිනා තත්ත්වයෙන් අසමත් ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවී ඇත. අඩු මිලට ලබාගත හැකිව තිබූ ඖෂධ වර්ග ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වැඩි මිලක් ගෙවා මිලදී ගැනීමට කටයුතු කරයි. ඖෂධ හිඟයට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති ප්‍රමාදයන් ද හේතුවී ඇත්තේය. මේ නිසා අධික මිලක් ගෙවා දේශීය වෙළෙඳපොළෙන් ඖෂධ මිලදී ගැනීමට සිදුවී ඇත. මේ තුළ අත යට ගනුදෙනු, පවා සිදුවන්නේය. ඇතැමුන් කොමිස් මුදල් ලබාගෙන තම මඩි තරකර ගනිති. එහෙත් මේ නිසා තැලෙන්නේ, පොඩිවන්නේ, පීඩාවට ලක්වන්නේ, අහිසංක රෝගීන්ය. ඒ කොයිහැටිවුවද 2021 වර්ෂයේ දී තත්ත්වයෙන් අසමත්වීම හේතුවෙන් රුපියල් අනූදෙකෝටි, අනූහත් ලක්ෂ, එක්දහස් නමසිය, හැත්තෑඅටක්, (929,701,978)ක වටිනා වෛද්‍ය සැපයීම් 56ක් භාවිතයෙන් ඉවත්කර හෝ භාවිතය අත්හිටුවා තිබුණි. මෙකී කෝටි අනූදෙකක මුදලටද කරගැසීමට සිදුවන්නේ මේ රටේ බදුගෙවන ජනතාවටය.

ඒ විතරක් නොව තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් අතුරින් බොහොමයක දෘෂ්‍ය අංශු, පැවතීම, පෙති කැඩියෑම, වර්ණය වෙනස්වීම, බ්‍රිතාන්‍ය ඖෂධවේද, පිරිවිතරයන්ට අනුකූල නොවීම, ක්ෂුද්‍රජීවී දූෂණය ආදී කරුණු හඳුනාගෙන තිබූ බව මේ සම්බන්ධව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වන්නේය. භාවිතයෙන් ඉවත්කළ වෛද්‍ය සැපයීම් අතර හෘද රෝග, අක්ෂි ආසාදන, පිළිකා, වකුගඩු රෝග, සඳහා භාවිතා කරන ඖෂධ පවා තිබී ඇත. තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් ලැබීම අවම වන ආකාරයට රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සහ වෙනත් සුදුසු විදිමත් පියවර අනුගමනය කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

කෙසේ වුවද මේ පිළිබඳ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන්කොට ඇත්තේ තත්ත්වයෙන් අසමත් ඖෂධ, රෝගීන්ට නිකුත්වීම අවම කිරීම, සඳහා කටයුතු කරන බවය. ඒ විතරක් නොව 2020 වර්ෂයේ ජුනි මාසයට පෙර කාලසීමාවේදී ඖෂධ නිකුත් කිරීමට පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නොතිබූ බව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් පිළිගෙන ඇත. මේ තුළින් පැහැදිලි වන්නේ ප්‍රමිතියෙන් තොර බෙහෙත් රෝගීන්ට ලබා දී ඇති බවය. කෙසේ වුවද මේ වනවිට ලැබෙන ඖෂධ කාණ්ඩ කිහිපයකින් නියඳි ලබාගෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථවේ රසායනාගාරය වෙත යවා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවද හෙතෙම විගණනයට සඳහන් කොට ඇත.

● රෝගීන්ට බාල බෙහෙත් ලබාදීලා

රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඇති ජාතික ඖෂධ තත්ත්වය ආරක්ෂණ රසායනාගාරය මගින් ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒ හේතුවෙන් ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාවන වනවිට එම ඖෂධවලින් බෝහෝ ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිතාකොට තිබුණි. වර්ෂ ගණනාවක සිට විගණනය මගින් ද මේ ගැන පෙන්වා දී තිබුණි. එහෙත් වගකිවයුතු බලධාරීන් විසින් ඉකුත් වර්ෂය තුළදීවත් එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඖෂධ, රෝහල්වලට නිකුත් කිරීමට පෙර ඖෂධවල, ප්‍රමිතිය, පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබුණි. කෙසේ වුවද තත්ත්වයෙන් අසමත් ඖෂධ පිළිබඳ දැනුම් දීමේ චක්‍රලේඛන නිකුත් කිරීමේ ප්‍රමාදයන් දිගින් දිගටම සිදුවිය. මෙයට විසඳුමක් ලෙස තත්ත්වයෙන් අසමත් ඖෂධ, රෝගීන්ට ලබාදීම වැළැක්වීමේ අරමුණින් 2020 වර්ෂයේදී PRONTO පරිගණක පද්ධතිය මගින් වෛද්‍ය සැපයීම් භාවිතය, අත්හිටුවීමට අදාළ නියෝග රෝහල් සහ ආයතන වෙත දැනුම්දීමේ ව්‍යාපෘතියක් ආරම්භකොට තිබුණි. එහෙත් මෙකී පරිගණක පද්ධතිය 1521ක් වූ, සමස්ත රෝහල් පද්ධතියෙන් රෝහල් 1381 ක ස්ථාපිතකර නොතිබුණි. මේ නිසා එම ව්‍යාපෘතියද අසාර්ථක වී තිබුණි. එම නිසා මෙකී පරිගණක පද්ධතිය ප්‍රාදේශීය රෝහල් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය 2021 දෙසැම්බර් මස 21 වැනි දින වනවිට අත්හිටුවීමට කටයුතු කර තිබුණි. ඒ වෙනුවට ස්වස්ත නමින් නව තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 101.8ක මුදලක් පුද්ගලික සමාගමක් වෙත ලබා දී තිබුණි. එහෙත් ඉකුත් වර්ෂය තුළදිවත් රෝගීන්ට ප්‍රමිතියෙන් තොර ඖෂධ නිකුත්වීම වැළැක්වීමට හැකියාව ලැබී නොතිබුණි.

● රුපියල් මිලියන 99ක් වැයකොට ඉදිකළ ඖෂධ රසායනාගාරය මේ සඳහා භාවිතාකොට නැහැ

මෙරට ඖෂධ අංශයේ සංවර්ධනය සඳහා ස්වාධීන තෙවන පාර්ශ්වයේ පරීක්ෂණාගාරයක් කාර්මික තාක්ෂණ ආයතනය තුළ ඉදිකොට තිබුණි. මේ සඳහා රුපියල් මිලියන 99ක මුදලක් වැයකරනු ලැබීය. ඖෂධ පරීක්ෂණ රසායනාගාර සේවාවන් ලබා ගැනීම සඳහා විදේශ රටවලට විශාල ගාස්තුවක් වැය කිරීමට සිදුවී තිබුණි. පරීක්ෂණ කටයුතු සඳහා විදේශ රටවලට ඇදීයන විදේශ විනිමය ඉතිරිකර ගැනීම මෙකී ඖෂධ රසායනාගාරය පිහිටුවීමේ තවත් අරමුණක් විය. එහෙත් විදේශීය රටවලින් සිදුකරන පරීක්ෂණ කටයුතු මෙම රසායනාගාරය තුළින් තවමත් සිදුකරන්නේ නැත. මේ නිසා පරීක්ෂණ කටයුතු සඳහා තවමත් විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් විදේශීය රටවලට ඇදීයති. ඒ විතරක් නොව 2019 වර්ෂයේ සිට මෙකී රසායනාගාරය ක්‍රියාත්මකව පැවතුණි. එහෙත් ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා මෙකී ඖෂධ රසායනාගාරය භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරිය, කටයුතු කර නොතිබුණි. ඒ විතරක් නොව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් පොදු පරීක්ෂණ රසායනාගාරයක් සහ පුහුණු පාසලක් පිහිටුවීමේ අරමුණින් රුපියල් දහතුන් කෝටි, තිස්හත්ලක්ෂ, හැටහත්දහස්, පන්සිය අනූනමයක, (133,767,59), මුදලක් වැයකොට ගොඩනැඟිල්ලක් මිලදීගෙන නවීකරණය කොට තිබුණි. එහෙත් මෙකී ගොඩනැඟිල්ල දැනට වසර 04ක පමණ කාලයක සිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පැවතුණි. රසායනාගාරයක් සහ පුහුණු පාසලක් පිහිටුවීම සඳහා සපුරාලිය යුතු අනිකුත් අවශ්‍යතා කිසිවක් සම්පූර්ණ කිරීමටද සංස්ථාව මගින් කටයුතු කර නොතිබුණි. ඒ සඳහා සංස්ථාවට පෙර සැලැස්මක් හෝ සූදානමක් නොතිබීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබූ බව විගණනය මගින්ද අනාවරණය කොට තිබුණි. කෙසේ වුවද මේ වනවිට මෙකී ගොඩනැඟිල්ල විකිණීම හෝ බදු දීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.

● ලිංගික උත්තේජනය සඳහා භාවිතා කරන එන්නත් ගෙන්වීමේ දී ගහපු ගැහිල්ල

වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉකුත් වර්ෂයේ දී (2021) Papaverine HCL injection 60mg/2ml නැමති එන්නතින් ඒකක 1560ක් රුපියල් මිලියන 68.59ක් වැයකර මිලදීගෙන තිබුණි. මෙකී මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු සිදුකොට තිබුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසිනි. මේ සඳහා අන්තර්ජාතික විවෘත තරගකාරී ලංසු කැඳවීමට අනුව එක් ලංසුකරුවකු පමණක් ලංසු ඉදිරිපත් කොට තිබුණි. එන්නත් ඒකකයක ඇස්තමේන්තු මිල රුපියල් 255.07කි. එහෙත් ඒ සඳහා ලංසුව ඉදිරිපත්කොට තිබුණේ රුපියල් 40.868,98කි. මේ නිසා නැවත මිල ගණන් කැඳවිය යුතුව තිබුණි. එහෙත් ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම එන්නත් ඒකකයක් රුපියල් 40.868.98ක් බැගින් එන්නත් ඒකක 3125ක් රුපියල් මිලියන 127.72ක මිලදී ගැනීමට අනුමැතිය ලබාදී තිබුණි. අනික් කාරණය වන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුව පත්කිරීම පිළිබඳ සංස්ථාව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත අනුව රුපියල් මිලියන 50 ඉක්මවන ප්‍රසම්පාදනයක් සඳහා පස්දෙනකුගෙන් යුතු තාක්ෂණික කමිටුවක් පත්කළ යුතුය. එහෙත් තිදෙනකුගෙන් යුත් තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් ලංසු ඇගයීම් සිදුකර තිබුණි. එමෙන්ම මෙකී එන්නත් තොගය වෛද්‍ය සැපයුම් අංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඇණවුම් කළයුතු බව වෛද්‍ය සැපයුම් අංශය විසින් සංස්ථාවට දැනුම් දී තිබුණි. එහෙත් සංස්ථාව ඒ අනුව කටයුතු කර නොතිබුණි. වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කමිටුවේ තීරණයට අනුව වාර්ෂික භාවිතය එන්නත් ඒකක 650කි. ඒ නිසා මුළු එන්නත් ප්‍රමාණයෙන් සියයට 40ක් හෙවත් එන්නත් 1250ක් සඳහා පමණක් ණයවර ලිපි විවෘත කළ යුතුව තිබුණි. එහෙත් ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය අභිබවා එන්නත් ඒකක 1563ක් වෙනුවෙන් රුපියල් මිලියන 68.73ක ණයවර ලිපි විවෘතකොට තිබුණි. මෙකී එන්නත් තොගය 2021 ජුලි මස 18 දින මිලදීගෙන තිබුණි. මිලදීගත් එන්නත් ඒකක 1421ක් 2022 වර්ෂයේ අගෝස්තු මස 20 වන දින වනවිටත් ඉතිරි වී තිබුණි. එම එන්නත් 2023 වර්ෂයේ පෙබරවාරි මස කල් ඉකුත්වන බව විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි. මෙකී එන්නත් තොගය ඇස්තමේන්තු මිලට ගත්තේ නම් වැය වන්නේ ලක්ෂ හතරකට, ආසන්න මුදලකි. එහෙත් හයකෝටි, අසූහත්දහසක මුදලක් ගෙවා වැඩිමිලට මෙකී එන්නත් තොගය මිලදී ගෙන තිබුණි.

● ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාදය නිසා, ඖෂධ මිලදී ගැනීමට, රුපියල් මිලියන 5166ක, අතිරේක වියදමක් දැරීමට සිදුවෙලා.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන් නිර්මාණය වන වෛද්‍ය සැපයුම් හිඟය වළක්වා ගැනීමට දේශීය වෙළෙඳපොළින් වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට සිදුවී තිබුණි. මේ නිසා 2007 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වාර්ෂ 10 කාලය තුළ රුපියල් මිලියන 5166ක් අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇත. එහෙත් ඒ සඳහා වගකිවයුතු පාර්ශ්ව හඳුනා ගැනීමට කිසිදු පියවරක් ගෙන පවා නොතිබුණි. 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වර්ෂ 04ක කාලය තුළදී රුපියල් මිලියන 575 අතිරේක පිරිවැයක් ඖෂධ මිලදී ගැනීම සඳහා වැයකොට තිබුණි. මේ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් සැපයුම්කරුවන් වගකිවයුතු බවට හඳුනාගෙන තිබුණි. ඉන් රුපියල් මිලියන 254කින් රුපියල් මිලියන 165ක් පමණක් සැපයුම්කරුවන්ගෙන් අයකර ගෙන තිබුණි. සැපයුම්කරු වගකිවයුතු නොවන ඇණවුම් ඉදිරිපත් කිරීමේ හා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු හේතුවෙන් දැරීමට සිදුවූ මුදල රුපියල් මිලියන 292.7කි. තවත් රුපියල් මිලියන 28ක් සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන් හඳුනා ගැනීමට හා අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. එක් එක් රෝහල් විසින් දේශීය වෙළෙඳපොළින් මිලදී ගන්නා දේශීය සැපයුම් වෙනුවෙන් වැයකරන අතිරේක පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීම සඳහා ක්‍රමවේදයක් ඉකුත් වර්ෂයේදී පවා හඳුනාගෙන නොතිබුණි. මේ නිසා ඉකුත් වර්ෂය තුළ අමාත්‍යාංශය යටතේ ඇති රජයේ රෝහල් විසින් රුපියල් මිලියන 852ක් වූ වෛද්‍ය සැපයුම් වර්ග දේශීය වෙළෙඳපොළින් මිලදීගෙන තිබුණි.

● වෛද්‍ය සැපයුම්වල ප්‍රමාදය

වෛද්‍ය සැපයුම් අංශය විසින් ඇස්තමේන්තුගත වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා මාස 11ක සැපයුම් කාලයක් සහිතව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ඇණවුම් නිකුත් කිරීම ප්‍රතිපත්තිය වී තිබුණි. එහෙත් එම ඇණවුම් සංඛ්‍යාවෙන් සියයට 90ක් පමණ නිසි වෙලාවට සපා නොතිබුණි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා සැලසුම්කොට තිබූ කාලයට වඩා වැඩිකාලයක් මේ සඳහා ගතකොට තිබුණි. මේ සඳහා හේතුවී ඇත්තේ වෛද්‍ය සැපයුම්කරුවන්ගේ ප්‍රමාදයන්ය. මේ නිසා සෑම වර්ෂයකදීම ඉතා විශාල පිරිවැයක් සහිත වෛද්‍ය සැපයුම් දේශීය වෙළෙඳපොළින් මිලදී ගැනීමට සිදුවී ඇත. එක් එක් වර්ෂයක් තුළදී සැපයීමට සිදුවන ඖෂධ වර්ග 15000කි. ඖෂධ තොගය ලැබීමට ආසන්න වශයෙන් වර්ෂ 02 කාලයක් ගතවී තිබුණි. වෛද්‍ය සැපයුම්කරුවන්ගේ ප්‍රමාදය නිසා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයක් වන Meropenem1g එන්නත 2022 අප්‍රේල් මස 22 වැනි දින සිට රෝහල්වල හා වෛද්‍ය සැපයුම් අංශයේ පැවතියේ මාසයකටත් වඩා අඩුවෙනි. මෙකී ප්‍රමාදය හේතුවෙන් රුපියල් 481 මිලදී ගැනීමට හැකිව තිබූ මෙකී ඖෂධය 2021 වර්ෂයේ දී රජයේ රෝහල් විසින් රුපියල් 1,956 රුපියල් 4,697 අතර විවිධ මිල ගණන් යටතේ රුපියල් මිලියන 49.52ක් වැයකර දේශීය වෙළෙඳපොළින් මිලදීගෙන තිබුණි.

● වෛද්‍ය සැපයුම්කරුවන් රුපියල් මිලියන 693.38ක් පොලු තියලා

රුපියල් මිලියන 943.75ක විටිනා තත්ත්වයෙන් අසමත් සහ හානි වූ ඖෂධ සහ ඖෂධ අඩුවෙන් වෛද්‍ය සැපයුම් අංශයට සැපයුම්කරුවන් විසින් සපයා තිබුණි. මේ සඳහා පරිපාලන ගාස්තු හා එම තොග විනාශ කිරීමේ වියදම ද ඇතුළත්ව තිබුණි. 2022 ජුනි මස 30 වන දින වනවිටත් ඉන් රුපියල් මිලියන 71.03 ආසාදු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අයකරගත යුතුව තිබුණි. කෙසේ වුවද වෛද්‍ය සැපයුම්කරුවන් විසින් මේ සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රුපියල් මිලියන 693.38ක මුදලක් ගෙවීම පැහැරහැර තිබුණි. එම සැපයුම්කරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඖෂධ නීතිගත සංස්ථාව විසින් සඳහන්කොට ඇත. කෙසේ වුවද 2020 හා 2021 යන වර්ෂවලදී ඖෂධ කල්ඉකුත්වීම සහ හානිවීම නිසා සංස්ථාවට දැරීමට සිදුවී තිබූ මුළු අලාභය රුපියල් මිලියන 191.86කි. තත්ත්වයෙන් අසමත් ඖෂධවල වටිනාකම සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීම හා ඖෂධ කල්ඉකුත් වීමට හේතු සොයා පිළියම් යෙදීම සහ එම හේතුවලට වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් ද නිර්දේශකොට ඇත.

● පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඖෂධ පොල්ල මිලියන 14ක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා ලබාදුන් ඖෂධ වෙනුවෙන් රුපියල් මිලියන 14.62 ක මුදලක් වසර පහකටත් වඩා වැඩි කාලයක සිට සංස්ථාවට අයවීමට තිබුණි. මෙකී මුදල අයකර ගැනීම සඳහා කථානායකතුමා, සෞඛ්‍ය ලේකම්තුමා සහ අදාළ පාර්ශ්වයන් සමග කිහිප වතාවක් සාකච්ඡා කරනු ලැබූවද සතුටුදායක පිළිතුරක් නොලැබුණු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට තිබේ. මේ නිසා මෙම මුළු අගයට සමාන බොල් සහ අඩමාන ණය වෙන්කිරීමක් සිදුකළ බව කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. මේ නිසා පැරණි ණය ශේෂ අයකර ගැනීමට හෝ විදිමත් පරිදි කපා හැරීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

● මකා දමා තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ක්‍රියාකරණය කිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා වසර 05ක කාලයක් සඳහා රුපියල් මිලියන 29ක මුදලක් පුද්ගලික සමාගමක් වෙත ලබා දී තිබුණි. අධිකාරියේ ලේඛණ සහ කාර්ය ප්‍රවාහ කළමනාකරණ පද්ධතිය සේවාවක් ලෙස ක්‍රියාත්මක කිරීම මොඩලය අනුව ලබාගෙන Operational Expenditure Financing ක්‍රියාත්මක කිරීමට ගිවිසුම්ගතවී තිබුණි. 2019 ජුනි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා වූ මෙකී කාලය තුළදී අදාළ කොන්ත්‍රාත් සමාගම වෙත රුපියල් එක්කෝටි, විසිදෙලක්ෂ, පනස්තුන්දහස්, තුන්සිය විසිඅටක මුදලක් (12,253,328) ගෙවා තිබුණි. අදාළ පුද්ගලික සමාගමේ නොසැලකිල්ල හෝ හිතාමතා හෝ මෙකී දත්ත පද්ධතියට ඇතුළත්කර තිබූ ඇතැම් තොරතුරු මකාදමා තිබුණි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් ආරම්භකොට ඇත. 2022 අගෝස්තු මස 31 දින වනවිටත් මෙකී සේවාව අක්‍රීය තත්ත්වයට පත්වී තිබුණි. මෙකී පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී, අවශ්‍ය, උපදේශනය, කළමනාකාරීත්වය හා තාක්ෂණික උපදෙස් ලබාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමග 2018 වර්ෂයේ ජුනි මස 05 වැනි දින වර්ෂක කාලයක් සඳහා අවබෝධතා ගිවිසුමක් එළඹ තිබුණි. වර්ෂ 05ක් වූ කොන්ත්‍රාත් කාලයට සමාන්තරව එම ගිවිසුම දීර්ඝ කිරීමට පවා අධිකාරිය මගින් කටයුතු කර නොතිබුණි. එමෙන්ම කොන්ත්‍රාත් ගිවිසුම ප්‍රකාරව තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳ සැලකිලිමත් වීමට මුරපද වෙනස් කිරීමට හෝ තොරතුරු අවභාවිතා කිරීම වැළැක්වීමට කටයුතු කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට හා මකාදමා තිබූ දත්ත නැවත ස්ථාපනය කිරීමට පත්කර තිබූ විශේෂඥ කමිටුව විසින් 2022 වර්ෂයේ ජුලි මස 15 වැනි දින නිකුත් කර තිබූ වාර්තාවට අනුව පද්ධතියෙන් මකාදමා තිබූ දත්ත නැවත ස්ථාපනය කළ නොහැකි බව තහවුරු කර තිබුණි. මෙකී පද්ධතියේ දත්ත අක්‍රීය කළ පසු තාවකාලික පිළියමක් ලෙස ගූගල් යෙදුමක් භාවිතයෙන් ඖෂධ උපකරණ ආදිය ලියාපදිංචි කටයුතු සිදුකරන නමුත් එහි අඩුපාඩු සහිතව පවත්වාගෙන යන බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment