කෝටි 922 ක දුම්රිය එංජින් 19න් 11 ක් වැඩක් නෑ

354

රුපියල් කෝටි නවසිය විසිදෙකක මුදලක් වැය කර ප්‍රංශයෙන් හා ඉන්දියාවෙන් මිලදී ගත් දුම්රිය එංජින් දහනවයක් අතුරින් එන්ජිං එකොළහක්ම භාවිතයට ගත නොහැකිව ඉවත දමා ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ ට පැවසීය.

2000 වසරේදී ප්‍රංශයෙන් මිලදී ගත් දුම්රිය එංජින් නමයෙන් ධාවනයට එක්කර ඇත්තේ දෙකක් පමණි. 2019 වසරේදී ඉන්දියාවෙන් මිලදී ගත් එංජින් දහයෙන් ධාවනය වන්නේ හතරක් පමණි.

ප්‍රංශයෙන් 2000 වසරේදී මිලදී ගනු ලැබූ එම් – 9 වර්ගයේ එක් එන්ජිමක වටිනාකම රුපියල් කෝටි 18 කි. මෙසේ එරටින් මෙරටට ගෙන්වා ගත් දුම්රිය එංජින් නවයෙන් හතක්ම ධාවනයට එක්කර ගත නොහැකි ඒවා බව ද ඒ මහතා කියා සිටී.

මීට අමතරව 2019 වසරේ ඉන්දියාවෙන් මිලදී ගත් එම් – 11 වර්ගයේ දුම්රිය එංජින් එකක් මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 76 ක මිලකටය. එම එංජින් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි ඒවාය. ඊට හේතුව එම එංජිම අඩි 72 ක් දිගුවීම හා මෙරට දුම්රිය මාර්ගවලට ඔරොත්තු නොදෙන තරම් බරකින් සමන්විතවීම යැයිද ඒ මහතා පැවසීය. මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කළ හැක්කේ ටොන් 110 ක බරින් යුත් එංජින් වුවත් ඉන්දියාවෙන් ගෙන්වූ එංජිමක බර ටොන් 120 ඉක්මවා ඇත.

ඉන්දියාවෙන් එංජින් 10 මිලදී ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන් හා නියාමකයින් 25 දෙනෙකු ඉන්දියාවට ගොස් ඒවා පරීක්‍ෂාවට ලක් කර ඇතැයිද විතානගේ මහතා කීය. අවසානයේදී අදාළ එංජින් මෙරටට ගෙනාවත් ඒවා ධාවනයට එක් නොකර දිරන්නට දමා තිබෙන බව ද ඒ මහතා කීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment