කෝඩුකාර ගුජරාට් කලින්ම අවසන් මහා තරගයට යයි

283

ඉන්දීය පිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කෝඩුකාර ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. ඒ අවසන් වටය ආරම්භ කරමින් පෙරේදා (24 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමිනි.

 එලිමිනේටර් ක්‍රමයට අනුව ජයග්‍රහණය ලබන කණ්ඩායම කෙලින්ම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන තීරණාත්මක අවසන් වටයේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19.3කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

 ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ ලකුණු 16ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දුන් ඩේවිඩ් මිලර් එම පන්දුවාරයේ පළමු පන්දු 3ටම හයේ පහර 3ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

 පන්දු 38කදී නොදැවී ලකුණු 68ක්

 රැස් කළ මිලර් සිය ඉනිම තුළදී හයේ පහර 5කින් සහ හතරේ පහර 3කින් රාජස්ථාන් පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය.

 හර්දික් පාණ්ඩ්‍යා අනෙක් අන්තයේ රැඳෙමින් පන්දු 27කදී නොදැවී ලකුණු 40ක් රැස් කළේ හතරේ පහර 5ක් සමගිනි.

 රාජස්ථාන් වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 56කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 89ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට ගුජරාට් පන්දු රකින්නෝ සමත්වූහ.

 අවසන් වටයේ දෙවැනි තරගය ඊයේ (25 වැනිදා) ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබුණු අතර ඉන් ජය ගන්නා කණ්ඩායම හෙට (27 වැනිදා) රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතව තිබේ.

 ලකුණු සාරාංශය

 රාජස්ථාන් රෝයල් පන්දුවාර 20දී කඩුලු 6කට ලකුණු 188යි (ජොස් බට්ලර් 89, සංජු සැම්සන් 47, දෙව්දත් පඩික්කාල් 28, හර්දික් පාණ්ඩ්‍යා 14/1)

 ගුජරාට් ටයිටෑන්ස් පන්දුවාර 19.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 191යි (හර්දික් පාණ්ඩ්‍යා (නොදැවී) 40, ඩේවිඩ් මිලර් (නොදැවී) 68, ෂුබ්මන් ගිල් 35, මැතිව් වේඩ් 35, ටේ‍රන්ට් බෝල්ට් 38/1)

advertistmentadvertistment
advertistmentadvertistment