කෝපය දුඟඳයි – ඉවසීම සුවඳයි

486

මිනිස්සු විවිධාකාර හේතු මුල්කර ගනිමින් ඉවසති. එක් එක් පුද්ගලයාගෙන් ඉස්මතුවන්නාවූ අනුවණකම් සමාජය ඉදිරිපිට හෑල්ලුවීම වළක්වා ගැනීමටත්, දුර්වලතා වසන් කිරීම සඳහාත් වාසි ප්‍රයෝජන ලබාගැනීම සඳහාත් තමන් දරන උසස් නිලතල අහිමිවී යා නොදී ඒවා රැක ගැනීමටත් බොහෝ දෙනා ඉවසති. මෙබඳු ඉවසීම් බොහෝදෙනා කරනුයේ තම වාසිය වෙනුවෙනි. එය ඉවසීම නමැති ගුණධර්මයේ දියුණුවක් නොවේ.

ඉවසීම බුද්ධාදී උතුමන් අනුදැන වදාළ උතුම් ගුණාංගයකි. ඉවසීම යනු දුක් කරදර නිසා තමා කරන යහපත් කටයුතු අත්නොහැර කෝපවීම්, පළිගැනීම් ආදී පවුකම් නොකර සිටීමයි. තමාටත් තම ධනයටත්, අඹුදරුවන්ටත්, නෑහිතමිතුරන්ටත්, අනුන් කරන අලාභහානි, අපරාධ ඉවසීමයි. සතුරන් සතුරුකම් කිරීමේදී නොකිපී සිටීමත්, සතුරුකම් නොකර සිටීමත් ක්‍ෂාන්තිය හෙවත් ඉවසීමයි.

සුණාපරත්නයට වැඩි පුණ්ණ තෙරුවන්වහන්සේ ඉවසීම මනාසේ වැඩූ හිමිනමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ ක්‍ෂාන්තිවාදී තාපස කාලයෙහිදී කලාබු රජු විසින් කසයෙන් පහර දෙදහසක් තලවා අත්පා සිඳ දමනු ලබද්දීත් වෛර නොකළ අතර මෛත්‍රිය පැතිරුවේය. ඡද්දන්ත නම් ඇත් රජුව ඉපිද තමාව දඩයම් කළ වැද්දාට තම දළ යුගල පරිත්‍යාග කළේය. වඳුරු කුලයක ඉපිද වනයේ අතරමංව සිටි බමුණාට නිසි මග සොයා ගැනුමට උපකාර කළද බමුණාගේ මනුෂ්‍යත්වය යටපත්ව නැග ආ පාපීත්වය හේතුවෙන් සතෙකුට කරුණාව දක්වනු වෙනුවට වඳුරාගේ හිසට පහර දුන්නද වේදනාව ඉවසා දරාගෙන රුධිරය ගලාවැටෙද්දීත් එම බමුණාට උපකාර කළේය.

අපිට හිරිහැර කරන්නා සමඟ අප කෝප වූ විට අප සටන් කරන්නේ කවුරුත් සමගද කුමක් සමගද අන්කිසිවකු සමඟ නොව්. අප අප සමගය. එවිට අප අපේම පරම සතුරෙකු වනු ඇත. එම නිසා මේ තත්ත්වය මනා ලෙස තේරුම් ගෙන අපේ සිත්වල සැඟවී සිටින මේ භයානක සතුරා සහමුලින්ම ඉවත් කර දැමිය යුතුය. කෝපය ඉතාම උග්‍ර තත්ත්වයකට පත්වූ විට මිනිසා නොමිනිසකු බවට පත්වෙයි. එවිට ඔහු අන් අය පමණක් නොව, තමාවම විනාශ කිරීමට සමත් භයානක තිරිසනෙකුගේ තත්ත්වයට පත්වේ. ඉවසීම පුරුදු නොකළ, කෝපය පුරුදු කළ, පුද්ගලයාට කෝපය නිසා අහිමි විය හැකිදේ බොහෝ වෙති. ඒ අතර නම්බුව,

රැකියාව, යහළු මිත්‍රයින් ආදරවන්තයන්, හිතවතුන්, හිතේ සහනය, සෞඛ්‍යය මෙන්ම තමන්ට තමන්වද අහිමි විය හැකිය.

කෝපයට පත් තැනැත්තාට ඉවසීම පුරුදු නොකළ නිසාම තම සතුරන්ගේ යහපතට හා මානසික සතුටට හේතුවන් ආදීනව හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

  1. තමා කොතරම් හොඳින් ඇඳ පැළඳ ලක ලෑස්ති වී සිටියත් පෙනුමෙන් අප්‍රසන්න වීම.
  2. සුවපහසු යහනක සැතපුනද වේදනාවෙන් පෙළීම.
  3. හොඳ නරක වරදවා ගෙන, ප්‍රවේශම් නොවීම හේතුකොටගෙන අවවාද පිළිනොගැනීම නිසා තමන් තමන්ටම බොහෝ අහිතකර දේ කර ගැනීම.
  4. මහන්සියෙන් දුක්විඳ රැස්කරගත් මිල මුදල් නැතිකර ගැනීම පමණක් නොව නීතිය හමුවේ වරදකරුවකු බවටද පත්වීම.
  5. උත්සාහයෙන් රැස්කර ගත් යශෝ කීර්තිය නැති කර ගැනීම
  6. යහළු මිත්‍රයන්, නෑදෑ හිතවතුන් ඈත්ව යෑම
  7. කය, වචනය, සිත මුල්කරගෙන කරන අකුසල ක්‍රියා විපාක ලැබීමෙන් මරණින් මතු දුගතියක උපත ලැබීම.

මට බැන්නා, මට ගැහැව්වා, මා පරාජය කළා, මගෙන් සොරාගත්තා ආදී සිතුවිලි දිගින් දිගට දරා සිටින පුද්ගලයාගේ කෝපය කිසිදිනක පහව නොයන්නේය. අඳුරෙන් අඳුර පලවා හැරිය නොහැකිය. වෛරයෙන් වෛරය ජයගත නොහැකිය. වෛරය, කෝපය, කේන්තිය සමනය කළ හැකි වන්නේ මෛත්‍රියෙන්ය. ඉවසීමෙන්මය. සමහරු ගලේ කෙටූ අකුරු වැනිය. ඉක්මනින් කිපෙන මේ අය කෝපය දිගු කලක් සිතේ තබා ගනිති. සමහරු වැල්ලේ ලියූ අකුරු වැනිය. ඉක්මනින් කිපෙන නමුත් තරහව, දිගු වේලාවක් සිතේ තබා නොගනිති. සමහරු දියෙහි ඇඳි අකුරු වැනිය. ඒ අය ක්‍ෂණිකව කෝපය සිතින් බැහැර කරති. ඉතාම හොඳ ඉවසීම පුරුදු කළ අය සමකළ හැක්කේ සුළඟේ ලියූ අකුරු වලටය. එබඳු අය නින්දා, ප්‍රශංසා, අවලාද, බොරු ප්‍රචාර ගණන් නොගනිති. එබඳු අයගේ සිත ඉතා නිරවුල්ය. සන්සුන්ය. පවිත්‍රය.

සමහර අයගේ අකාරුණික ක්‍රියා හමුවේ අපේ ඉවසීම මෛත්‍රියෙන් ජයගත හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත. “යමෙකු අනුවන ලෙස මට යම් වරදක් කළොත් පෙරළා මම ඔහුව මගේ අසීමිත මෙත් සිතින් සුරකිමි. ඔහුගෙන් සිදුවන නුගුණ වැඩිවෙත්ම, යහගුණ

මගෙන් ඔහු වෙත පුදමි. දැහැමි බවේ සුගන්ධය මා වෙත ගලා එන විට, නොදැහැමි බවේ දුගඳ ඔහුට හිමිවනු ඇත.”

කෝපය සිතෙන් බැහැර කිරීමට ධර්මයෙන් අපට කියාදුන් අවවාද මාලාවක්ද ඇත. ඒවා පුහුණු කිරීමෙන් අත්වන ප්‍රතිඵල ඉමහත්ය.

  1. කෝපයේ ආදීනව හා එවැනි අකුසල සිතුවිලි සිතෙහි දරාගෙන සිටීමෙන් ඇතිවන ප්‍රශ්න සම්බන්ධයෙන් ධර්මයෙන් දී ඇති අවවාද සිහිපත් කිරීම.
  2. තමන් සමඟ ගැටෙන පුද්ගලයාගේ යහගුණ ගැන කල්පනා කොට ඔහුගේ අශිෂ්ට ගති සිරිත් අමතක කොට ඔහු තුළ ඇති ශිෂ්ට යහපත් ගුණදහම් මෙනෙහි කිරීම.
  3. තමන් කරන කර්මයට තමන්ගේ හිමිකම සිහිකොට කර්මයෙන් ලබාදෙන දඬුවම ගැන විශ්වාස කිරීම. මේ නීතිය සිහියට ගත්විට අන් අය සමඟ තරහා වෙනවා වෙනුවට ඔවුනට කරුණාව මෛත්‍රිය දැක්වීම පහසුවනු ඇත. අකටයුතු දේ කළ අයට ඒවායේ ඵලවිපාකද විඳින්නට වනු ඇත.
  4. සියලු සත්වයන් කෙරෙහිම අපමණ මෙත්සිත පැතිර වීම.
  5. තමාගේ සිත දුෂ්‍යකර ගැනීමෙන් තමන්ට වන හානිය, පාඩුව ගැන සිතා කරන ලද වරද අමතක කර දැමීම.

ලෝකයේ සියල්ලන්ටම සතුරු පක්‍ෂයක්ද සිටිති. බුදුරජාණන් වහන්සේ ඇතුළු ලෝකයේ සියලු ශාස්තෘන් වහන්සේලාට සතුරන් සිටියහ. ඉන් අත්මිදෙන්නට ලෝකයේ කවරෙකුටවත් නොහැකිය. මෙයට විසඳුම නම් ඉවසීම පුරුදු කරමින් යථාර්ථය මෙනෙහි කිරීමය. එනම් මෙසේ වූයේ මම ලෝකයේ උපන් නිසාය. වරදකරු මට සතුරුකම් කරන තැනැත්තාම නොවේ. මමද වරදකරුවෙකි. මෙසේ කල්පනා කොට සසර කෙටි කරගැනීමට වීර්ය වඩමු.

කෝපය දුඟඳයි - ඉවසීම සුවඳයි

දඩල්ල – වාලුකාරාමවාසී ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment