කෝපවූවකු සමග කේප නොවන්න

522

පසුගිය ලිපියේදී අපි තරහව හෙවත් කේන්තිය නම් මානසික තත්වය පිළිබඳවත් එම තත්වය පිළිබඳව බුදුසමය තුල කෙරෙන විග‍්‍රහය පිළිබඳවත් කතා කලෙමු. අද ලිපියෙන් පුද්ගලයාට සමාජයීය වශයෙන් මෙන්ම අභ්‍යන්තරික වශයෙනුත් අලාභයක්ම සිදුකරන එම මානසික තත්වය පාලනය කරගැනීමට බුදු දහමෙහි එන ඉගැන්වීම් පිළිබඳව විමසා බලමු.

සිතිවිල්ල හඳුනා ගැනීම

මෙහිදී මුලින්ම කළ යුතු වන්නේ සිතිවිල්ල හඳුනා ගැනීමය. මට මේ ඇවිත් තියෙන්නේ තරහක් ද. ද්වේෂ සිතක් ද යන්න පළමුව දැන ගන්න. ඉන්පසු එහි ආදීනවයන් එනම් තරහව නිසා ඔබට ඇති විය හැකි ඉහත දැක්වූ (පසුගිය ලිපිය) ඵල විපාක ගැන අවබෝධයක් ඇති කරගන්න. (සදෝස චිත්තංති පජානාති)

ඒ අනුව,

  1. තරහ නැති කර ගැනීම සඳහා සිතේ කැමැත්තක් ඇති කර ගන්න. (ඡන්දං ජනේති)
  2. ඒ සඳහා වෑයම් කිරීමද කළ යුතුය. (වායමතී)
  3. වීර්යය ආරම්භ කළ යුතුය (විරියං ආරභතී)
  4. නෑ මං කේන්ති ගන්නෙ නෑ යනුවෙන් සිත තද කර ගත යුතුය. (චිත්තං පග්ගන්හාති)

කෝපය හෙවත් තරහ ආකාර 2කි. ඒ සාමාන්‍ය කෝපය සහ ක්ෂණික කෝපයයි. කෝපය පදනම් කරගෙන වෛරය ඇතිවේ. වෛරයද ආකාර 2කි. සාමාන්‍ය වෛරය සහ බද්ධ වෛරයයි.

කෝපයක් ඇති වූ කල එය ඉක්මනින් හෝ ටික කලක් ගත වන විට හෝ නිවී යා හැකිය. එසේ සිත වෙනස් නොවුණොත් එය වෛරයක් බවට හැරේ. වෛරය යනු සිතේ අල්ලා හිටින දෙයකි. බද්ධ වෛරය යනු භවයක් පාසා ගෙන යන වෛරයයි. මේ දෙකම ආරම්භ වන්නේ කෝපයෙනි.

තරහ දුරු කර ගන්නා ආකාරය පිළිබඳව අංගුත්තර නිකායේ එන ආඝාතපටිවිනය සූත‍්‍රයට අනුව ආඝාත පටිවිනය 1 සහ 2 ලෙසින් කොටස් දෙකකි. ආඝාතය යනු කෝපයයි. පටිවිනය යනු දුරු කිරීමයි. ඒ අනුව ආඝාතය හෙවත් තරහව පුද්ගලයා ඇතිකරගන්නා ආකාර පිළිබඳව පළමුව දක්වයි. එනම් යමෙක් මට අනර්ථයක් අයහපතක් කලා යැයි කෝපය ඇතිකරගනී. යමෙක් මට අනර්ථයක් කරනවා යැයි වර්තමානය පිළිබඳ කෝපය ඇතිකරගනී. එසේම අනාගතයේදී අනර්ථයක් කරන්නේ යැයි සිතා කෝපය ඇතිකර ගනී. මීට අමතරව තමන්ගේ මිතුරාට සහෘදයාට අහිතක් කලේ යැයි ද තරහව ඇතිකර ගනී.

මේ අනුව මෙහි පළමු සූත‍්‍රයෙහි කරුණු 4ක් පදනම් කරගෙන තමන් තුළ ගොඩ නැගුනු ද්වේෂය දුරු කර ගන්නා අන්දම ආකාර පහකින් මෙසේ දක්වයි.

  1. ඒ තරහව ඔබ තුළ ඇති කළේ යම් පුද්ගලයකු නම් ඔහුට, ඇයට මෛත‍්‍රී කරන්න.
  2. ඔහු, ඇය කෙරෙහි කරුණාව ඇති කර ගන්න.
  3. ඒ පුද්ගලයා පිළිබඳ මැදහත් සිතින් සිතන්න. (නිදසුනක් ලෙස ඔබ පිළිබඳව වැරදි දෙයක් ඔබේ හිතවතකු විසින් ඔබේ ප‍්‍රධානියාට පවසා ඇතැයි සිතමු. එවිට ඔබ තුළ තදබල කෝපයක් හට ගැනීම සාමාන්‍ය දෙයකි. නමුත් කේලාම් කීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මං ඒ ගැන කලබල වෙන්න ඕන නෑ යනුවෙන් මැදහත් සිතින් සිතීමට ඔබ පුරුදු පුහුණු විය යුතුය.)
  4. යම් පුද්ගලයකු ඔබ තුළ තරහක් ඇති කළේ නම් ඒ පුද්ගලයා සහ එම කාරණය පිළිබඳ මෙනෙහි කිරීමෙන් වැළකී හිඳින්න. බොහෝ විට අප කරන්නේ ඒ ගැන සිත සිතා හීල්ලීම, හිතවතුන්ට පවසමින් කෝපය තව තවත් වර්ධනය කර ගැනීම ආදියයි. නමුත් ඔබට ඒ පුද්ගලයා පිළිබඳ යළි යළිත් මෙනෙහි වන්නේ නම් සහ ඒ හැම විටම කෝපය අලූත් වන්නේ නම් ඔබ කළ යුත්තේ ඒ පුද්ගලයාට මෛත‍්‍රී කිරීමයි. කරුණාවක් ඇති කර ගැනීමයි. උපේක්ෂාව ඇති කර ගැනීමයි.
  5. එය ඒ පුද්ගලයාගේ කර්ම ස්වභාවය යැයි සිතා අනුකම්පා කරන්න.

මේ ආකාරයට කටයුතු කරන විට ඔබ තුළ තරහ හට ගැනීම, කේන්තිය හටගැනීම වැළකී යයි.

අං.නි. සත්තක නිපාතයේ කොධන සූත‍්‍රයේ දක්වන පරිදි කේන්තිය, කෝපය නිසා ඇතිවන ආදීනව හතකි. ”සත්තිමෙ භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡුන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත.

ඉධ භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡුති. අහො වතායං දුබ්බණ්ණො අස්සාති. තං කිස්ස හේතු. න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති… (අං.නි. සත්තක නිපාත, දුතිය පණ්ණාසක, අබ්‍යාකතවග්ග, කොධන සුත්ත,

(බු. ජ. මු.), 418). එනම්,

  1. හොදින් පිරිසිදුව සහ හොදින් ඇඳ පැළඳ සිටියද පුද්ගලයා අප‍්‍රසන්න බවයි.
  2. සිනිඳු සහ සැපපහසු සෝපාවක සයනය කළද පුද්ගලයා වේදනාවෙන් පෙළෙයි.
  3. හොද සඳහා නරක සහ නරක සඳහා හොද වරද්දා ගනිමින් සැලකිල්ලෙන් සහ සිහිකල්පනාවෙන් කටයුතු නොකර හානිය සහ දුක්වි`දීම ඇතිවන දේ පුද්ගලයා කරයි.
  4. මහන්සි වී උපයාගත් ධනය නැතිකර ගැනේ. නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්වීමටද ඉඩ ඇත.
  5. කි‍්‍රයාශූරව ලබාගත් කීර්තිය සහ යසස අහිමිකර ගැනේ.
  6. යහඑවන්, නෑදෑයින් සහ පවුලේ උදවිය පුද්ගලයාව මග හරිති, පුද්ගලයාගෙන් ඈත්වෙති.
  7. අයහපත් ප‍්‍රතිඵල ගෙනදෙන කය, වචනය සහ සිත මගින් අකුසල කි‍්‍රයා කෝප වූ පුද්ගලයා කරන හෙයින් මරණයෙන් මතු දුගතියක ඉපදෙයි.

යථෝක්ත කරුණු හත පුද්ගලයෙකුගේ, සතුරන්ගේ සතුටට හේතුවන බව බුදුන්වහන්සේ දේශනා කළ සේක. එබැවින් කෝපවූවකු සමග කෝපනොවිය යුතු බවද වැඩිදුරටත් එම දේශනාවේදී පැහැදිලි කරයි.

කෝපය, කේන්තිය පාලනය කරගැනීම පිළිබඳ බුදුදහමේ ඉගැන්වීම් ලබන සතියේදී තවදුරටත් විමසා බලමු.

පැල්මඩුල්ල ඓතිහාසික ශ‍්‍රී සුදර්ශන ධර්මශාලා පුරාණ විහාර භාරකාර,
අධ්‍යාපනවේදී – ගලගම කුසලධම්ම හිමි

පන්සල අතිරේකය සංස්‌කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment