කෝප් කමිටුවට එන්න පෙර ඉල්ලා අස්වූ ගො.ද්‍ර.ස. සභාපති යළි කමිටුවට කැඳවයි

219

කෝප් කමිටුවට පැමිණීමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවා තිබිණි.

මෙසේ එම සභාපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතීත්වයෙන් පෙරේදා (21 දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පසුගිය අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව වෙත සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව කැඳවා තිබූ අතර මේ සඳහා එම සංස්ථාවේ සභාපතිවරයා සහභාගි නොවන බව එදින පැමිණ සිටි නිලධාරීන් පැවසීය. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ මෙම සංස්ථාවේ සභාපතිවරයා පසුගිය අප්‍රේල් 18 දින එනම් කෝප් කමිටුවට කැඳවීමට පෙර දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කොට තිබීමයි. නමුත් මේ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අමාත්‍යාංශ අනුමැතිය තවම ලැබී නැති බැවින් ඔහුගේ ඉවත්වීම තවමත් නීත්‍යනුකූල නොමැති බවත් ඒ අනුව ඔහු නැවත කෝප් කමිටුවට කැඳවීමට කටයුතු කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ අනුව මෙසේ සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවා තිබිණි.

විශේෂයෙන් මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කළේ තමන් මෙම සභාපති ධුරයෙන් ඉවත් වූයේ මෙම සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ නිසා ද යන්නයි. නමුත් මෙහිදී ඔහු සඳහන් කළේ එසේ නොවන බවත් තමන් ව්‍යාපාරිකයකු නිසා කාර්බහුල බැවින් මෙම සංස්ථාවෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ මහජන මුදල් යටතේ පවතින ආයතනයක නිලධාරියෙක් ඕනෑම අවස්ථාවක කෝප් කමිටුවට කැඳවීමට හැකි බැවින් මෙසේ ඔහු කෝප් කමිටුවට කැඳවූ බවයි. එසේම මෙම ඉල්ලා අස්වීම නිසි ක්‍රමවේදයකට අනුව සිදුවී නැති බව ද කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment