කෝප් කමිටුවේදී උපයෝගීතා කොමිසමේ රෙදි ගැලවුණ හැටි

618

පෙට්‍රල් ලීටරය 250ට දීමේ රණ්ඩුව

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පිහිටුවූයේ 2002 අංක 35 දරන පනතිනි. මෙම කොමිසම බලතල සහිත ස්වාධීන එකකි. මෙය පිහිටුවූයේ රාජ්‍ය ආයතන කිහිපයක් නියාමනය කිරීමටය. මෙය අධිබලැති කොමිසමකි. විදුලිය කපාහරින සහ විදුලිය ලබාදෙන කාලය කියන තැනට මෙකී කොමිසම පවත්වූයේ ඉකුත් දෙසැම්බර් ජනවාරි මස සිටය. ඇමැති කංචන විජේසේකරම කොමිසමට දොස් කීවේ ඉකුත් සතියේ දීය. ලයිට් කපන සහ දෙන වේලාව කීමට නොව මේ රටේ විදුලිය අඛණ්ඩව ලබාදීමට ගතයුතු පියවර නොපමාව නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට පත් කළ කොමිසම කෝප් කමිටුව ඉදිරියේ ඇඳිවත ගලවා දැමූ හැටි රටම දැක ගත්තේ බ්‍රහස්පතින්දාය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය සමාගම් කිහිපයක්ම නියාමනය කිරීමට පිහිටුවාලූ මෙකී කොමිසමට ඉකුත් කාලසීමාවේදී පැවරී තිබුණේ විදුලිබල මණ්ඩලයේ කටයුතු සොයා බලා මණ්ඩලය ඉදිරිපත් කරනු ලබන කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන විදුලි ව්‍යාපෘති පිළිබඳ සොයා බලා අනුමැතිය ලබාදිය හැකි නම් වහා ඒවා ක්‍රියාත්මක කිරීමය. නමුත් මෙය පිහිටුවාලූ පසු කොමිසම භාරව කටයුතු කළ එකදු සභාපතිවරයෙකුට හා අනෙක් නිලධාරීන්ට මේ රටේ එකදු විදුලි ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. වත්මන් විදුලි අර්බුදයට ප්‍රධානම හේතුව විදුලිබල මණ්ඩලය යෝජනා කළ එකදු විදුලි ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක කිරීමට මෙකී කොමිසම අවසර ලබා නොදීම යැයි ලංවිම ඉංජිනේරුවෝ පවසති. මීට අමතරව විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ඇතැම් ලේකම්වරු, විදුලිබල මණ්ඩලයේ ඇතැම් උසස් නිලධාරීහු ද මෙකී විදුලි ව්‍යාපෘතිවලට එරෙහිව කඹ ඇදීමක නිරත වූහ.

කෝප් කමිටුවේදී උපයෝගීතා කොමිසමේ රෙදි ගැලවුණ හැටි

එසේ විදුලි ව්‍යාපෘති නතර කර දමන්නට හේතුව වෙන කිසිවක් නොව ‘විදුලි අර්බුදයම’ ධන උල්පතක් වී තිබෙන නිසාය. සාමාන්‍යයෙන් අපේ රටේ වසර දෙක තුනකට වතාවක් දැඩි නියඟයක් හටගනී. එකී කාලයට විදුලි ඉල්ලුම සපුරාලීමට නොහැකිව පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට සිදුවේ. ඒ පුද්ගලික ඩීසල් බලාගාරවල විදුලි ඒකකයක මිල රුපියල් 50, 60, 80 ආදී ඉහළ මිල ගණන්වලට යටත්ය. වර්තමානයේ ඩීසල් මිල ගණන් යටතේ නම් පුද්ගලික ඩීසල් බලාගාරයක් මගින් ජනනය කරන විදුලි ඒකකයක් රුපියල් 150ත් 200ත් ඉක්මවා යා හැකි බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ දළ ගණනය කිරීම් අනුව පෙනේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම :ඡඹක්‍ීඛ) ඉකුත් කාලයේ කළ දේ කුමක්ද? විදුලිය කපන වේලාව කීම පමණකැයි චෝදනාවකි.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා කෝප් කමිටුවේදී හෙළි වූ කරුණු දුටු පසු මේ රටට හෙණගසා ඇතැයි තහවුරු වූ බව සහතිකය. ඒ බව වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ‘දිවයින’ට කර ඇති ප්‍රකාශයම ප්‍රමාණවත් බව අපගේ වැටහීමය.

‘රාජ්‍ය මුදල් කොල්ලකන ඇතැම් දේශපාලනඥයන් පිළිබඳ ලැබෙන තොරතුරු නිසා මම ඉන්නෙ දැඩි කලකිරීමෙන්’ මේ කථානායක කී කතාවය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කථානායකවරයාත් මේ රාජ්‍ය මුදල් කතාබස් කරන හැටි දැක කලකිරී සිටින්නේ නම් තව කුමන කතාද?

එදා චෝදනා එල්ල වූයේ දේශපාලනඥයන්ට පමණකි. නමුත් පසුගිය දශක දෙකක සිට රාජ්‍ය මුදල් සොරා කන අය අතර රාජ්‍ය නිලධාරීන් ද සිටින වග නොරහසකි. යහපාලන සමයේදී මහ බැංකුව හොරා කෑ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා මගින් තහවුරු කෙරිණි. දැව සංස්ථා නිලධාරීන් මෙන්ම තව බොහෝ දූෂිත නිලධාරීන්ගේ පැටිකිරි එළියට ආ හැටි මතකය. මේ අතර රටම අඳුරකට වැටී ඉන්ධන නොමැතිව රටම නන්නත්තාර වී තිබෙන මොහොතක ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ ද ‘පැටිකිරිය’ එළියට පැන්නේ රටම ගිනිගෙන ඇති මොහොතකය.

පලයව්, පලයව් කියා ජනතාව දැන් කියන්නේ දේශපාලනඥයන්ට පමණක් නොව දූෂිත නිලධාරීන්ටත් එක්කය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එම කොමිසමේ සභාපති තනතුරට පත්වීමට තිබූ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව තවත් එක් සුවිශේෂී සුදුසුකමක්ද කෝප් කමිටුවේදී එළියට පැමිණ ඇත.

එය වෙනකක් නොව 2005 වර්ෂයේ සිට ආණ්ඩු ගොඩනැගීමට රාජපක්‍ෂවරුන්ට විශාල ලෙස සහයෝගය ලබා දීමය. එක අතකට එය අවංකව කළ ප්‍රකාශයකි.

මෙහිදී තවත් කරුණක් හෙළි විය. 2021 දෙසැම්බර් 07 වැනිදා සිට වර්ෂයක කාලයක් සඳහා කිසිදු ගිවිසුමකට නොගොස් කොමිසමේ සභාපති ජනක රත්නායකගේ පරිහරණය සඳහා 2005 වසරේ නිෂ්පාදිත බෙන්ස් රථයක් මාසික කුලී පදනම මත ලබා ගැනීමය. මෙම බෙන්ස් රථය ඨැබැර්ක ඊමිසබැි :ඡරසඩ්එැ) ඛඑා නම් ආයතනයකින් ලබාගෙන ඇත. එම බෙන්ස් රථය ඉන්ධන හෝ රියැදුරු නොමැතිව මාසික කුලී පදනම මත ලබාගෙන ඇත. ඒ අනුව මෙම රථයට වාර්ෂික කුලිය රුපියල් හතළිස්පන් ලක්‍ෂයකි. (450,0000) ඒ අනුව 2022 මැයි 31 දිනට ඉන් රුපියල් විසිඑක් ලක්‍ෂ අසූහත්දහස් පන්සියයක (2,187,500) මුදලක් අදාළ ආයතනයට ගෙවා ඇත. ඒ ආයතනයේ හිමිකරු කවුරුද එය කාගේ හිතවතකුගේ ද යන්න කෝප් කමිටුවේ හෙළි නොවූ කරුණකි.

මෙම කුලී පදනමට ගත් රථය පිළිබඳ ලිපිගොනු විගණනයට ලක්ව නැත. මෙම වාහනය කුලී පදනම මත ගැනීමේදී ලංසු කැඳවීමේ අක්‍රමිකතා, කුලී මුදල් ගෙවීමේ විනිවිදභාවය, මුදල් ගෙවීමේදී විනිවිදභාවය නොවීම ආදිය ද කෝප් කමිටුවේදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරිණ. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ මෙවන් බෙන්ස් රථයක මිල රුපියල් ලක්‍ෂ 70ක් 75ක් පමණ වේ. ඒ අනුව මෙකී බෙන්ස් රථයට මසකට කුලිය ලෙස රුපියල් ලක්‍ෂ 45ක් ලබා ගැනීම මොනතයක්ද?

විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආදී ආයතනවල නියාමනයට පත් කළ කොමිසමේ සභාපතිවරයාට ගත් මෙකී බෙන්ස් රථය සම්බන්ධව සෙවීමට තවත් කොමිසමක් පත්කළ යුතු තැනට රට පිරිහී ගොසිනි.

මෙම කෝප් කමිටුවේදී මහජන උපයෝගිතා කොමිසම පිළිබඳ හෙළි වූ කරුණු බොහෝය.

කොමිසමේ කාර්ය මණ්ඩලය වෙත දීමනා 11ක් යටතේ රුපියල් හාරකෝටි පනස්අට ලක්‍ෂ හැත්තෑ තුන්දහස් හාරසිය අසූතුනක් (45,873,483) ගෙවා තිබීම, මහජනතාව දැනුම්වත් කිරීමට රුපියල් අසූහය කෝටි අටලක්‍ෂ අටදහස් පන්සිය තිස්අටක (86,808,538) මුදලක් වැය කර ඇත.

කෝප් කමිටුවේ එකී ප්‍රශ්න කිරීම් හා පිළිතුරු විවිධ මාධ්‍ය හරහා පළවී තිබෙන බැවින් ඊට වඩා සටහන් කළ යුතු නැත. නමුත් රට වැටී ඇත්තේ බරපතළ දූෂිත තැනකටය. මේ වනවිට විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසම, මහජන අදහස් ලබාගැනීමට මුදාහැර ඇත. තව සති කිහිපයක් ඇතුළත විදුලි ගාස්තුත් ඉහළ දමන බව නිසැකය. එක පැත්තකින් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ලක්‍ෂ හය හත දහය දක්වා මාසික වැටුප් ලබන බව හෙළි වී ඇත. තෙල් සංස්ථා සේවකයන් ද ඒ ආකාරයටම වැටුප් ලබති. දීමනා, දිරි දීමනා ලබති. වැඩ නැතත්, ඉන්ධන නැතත්, විදුලිය නැතත් අතිකාල දීමනා ද ලබති. වසර තුනකට වරක් වැටුප් වැඩිවීම්වලට ද හිමිකම් කියති.

රටේ පොදු මහජනතාවගේ මුදල් කාබාසිනියා කරන මේ ආයතනවල හොරකම, දූෂණ වංචා හෙළි වී ඇත. දේශපාලනඥයන් හා දූෂිත රාජ්‍ය නිලධාරීන් අද වනවිට රටත්, රටේ ජනතාවත් නන්නත්තාර කර දමා හමාරය. සිස්ටම් චේන්ජ් ඉල්ලන්නේ එනිසාය. ශ්‍රී ලංකාව සෝමාලියාව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටින මේ මොහොතේදී මේ දූෂිතයන් සිටින්නේ කකුළුවන් ලෙසිනි. දිය රත්වෙමින් තිබේ. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කරන විගණන වාර්තාවලට අනුව කිසිදු රාජ්‍ය නිලධාරියෙක්වත් දඬුවමක් ලබා නැත. අධිභාර පැනවීමක්ද කර නැත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය දූෂණය හෙළිකර ඇත. දඬුවම් නැත. අධිභාර පැනවීමක් නැත. මේවා විකාර බවට පත්ව ඇති බව පොදු ජනතා විශ්වාසයයි. රට වළපල්ලෙන් ගොඩ ගැනීමට නම් මුලින්ම කළ යුත්තේ මේ දූෂිතයන්ට දඬුවම් කිරීමය. සිංහයා නිසා වනය රැකේ. වනය නිසා සිංහයා රැකේ. දූෂිත දේශපාලනඥයා හා දූෂිත නිලධාරියා ද එපරිදිමය. එනිසා මේ හෙණ ගහන ශාපයෙන් රට දැන්වත් බේරා ගැනීමට කොයි කවුරුත් අදිටන් කරගත යුතුය. නැති නම් මතු පරපුර ශාප කරන්නේ ඒ දරු පරපුර බිහිකළ මව්පියවරුන්ටය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment