කෝප් – කෝපා  සභාපති ධුරවලට සජබයෙන් එරාන් සහ කබීර්

83

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය සඳහා මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලෙස මෙයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද, රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලෙස මෙයට පෙර මහාචාර්ය තිස්ස විතාරණ මහතා ද කටයුතු කළහ. කෝප් සහ කෝපා යනු රාජ්‍ය ආයතනවල දූෂණ වංචා අක්‍රමිකතා සහ අවභාවිත පිළිබඳ විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු දෙකයි. මේ අතර මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය සඳහා සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගියදා තීරණය කළේය.

පාර්ලිමේන්තුවේ සියලු කමිටුවල සභාපති ධුර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙස පසුගියදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අවස්ථාවේදී ඊට කථානායකවරයා එකඟත්වය පළ කළේය.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීමත් සමග අහෝසි වූ කමිටු අතුරින් කිහිපයක් දැනට පත්කර ඇති අතර සෙසු කමිටු ද පත් කිරීම ඉදිරි දිනවල කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment