කෝප සබේ හබේ

161

එකල්හි නන්දසෙන් රජ්ජුරුවෝ මඤ්ඤංලන්ත රජ මැදුරු බරාඳයෙහි ඔබද මොබද ගමන් කෙරෙමින්, ස්වල්ප කලෙකට පෙර මැරහේන පසල් දනව්වෙහි තුමූ පුඟුලික සරල නිවස්නයෙහි බෝ සැනහුමෙන් කල් ගෙවූ අවදිය සිහි කෙරෙමින් හිඳිනුයේ එකී සන්හුන් බව එක් රැයෙන් සුන්නද්ධූලිව ගියයුරු හා එකල්හි මාස් පතා රටවැස්සන් හා පැවැත්වූ ග්‍රාම සාමීචිය ආහ්ලාදයෙන් යුතුවැ සිහිවැ මෙකල්හි එවන් සාමීචියක් තබා කිසිදු කටයුත්තකට එළිපහළියට බැසුම වනාහී මහත් වූ අන්තරායෙක් කැඳවනා එකක් වන තරමටමැ තුමූ පිරිහුමට ලක් වනා බැව් තුමූ ඉති සිතින් ඇදැහූ අනුරාධ නාගරික ඥානධාරී දේව මෑණියන්ගේ දිව්‍ය චක්ෂුකයටවත් නොපෙනී ගියයුරු ශෝකයෙන් සිහි කොට තුමුනට තබා එතුමියට ද දේවාරක්ෂාව පසෙක තබා රාජ හා පොලාස පුරුෂයන්ගේ ආරක්ෂාව සැපයුමට තුමුනට සිදු වූ බැව් සිහි කරනුයේ එක්වරමැ නුදුරු වූ සමුදුරු ඉසව්වෙන් නැඟි ඝෝෂාවෙක් සවන වැකී බැලූ කල්හි එකී ඝෝෂාව වනාහී සමුදුරු උද්‍යානයේ වාඩිලා හිඳිනා අරගලකාරී ගැටවුන්ගේ බැව් හැඳින එකී අරගල භූමියට තබා ඇත්තා වූ නාමය ද සිහියට නැඟෙනුයේ එකී භූමිය උදාග්‍රාමයක් කෙරුමට පෙම්දසයාට කල්පනාවෙක් පහළ නොවීම වාසනාවක් බැව් සිතී අරගල උදාග්‍රාම තනනු තබා උහු අරගල ගැටවුනගෙන් දණ්ඩෙන් පහර නොකා ගැලවගත්තේ දෙපා පිහිටෙන් නොවේදැයි එසැණින්ම කල්පනාවට පැමිණ සිහින් මඳහසක් නැගෙනුයේ කෙසේ වූවද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු උදෙසා සමුදුරු උයන සමීපයෙහි වූ රාජ කටයුතු භවන වෙතද තුමුනට යා නොහැක්කේ නොවේදැයි සිතමින්මැ අවට බලනුයේ රජ මැදුරු අංගණයේ දොරටුව ආසන්නයේ වාමන රූ ද්වයක් මෙන් සිටගෙන සිටිනා වූ ඡායාවෙක් වන් දෙයක් දැකැ විමැසුම්ව බැලු කල මෑතකදී රජවාසල සේවාව පිණිසැ කැඳැවූ කේවට්ට දෙබාන බැව් හැඳින මුනට වැය කරනා ධනයෙන් ගවයන් දෙබානක් ඇති කළෙහි නම් මීට වඩා ඵල යැයි සිතමින්මැ,

“කිමෙක්දැ තෙපි හෝතඹුවන් සේ ඔතැන් සිට බැල්ම ලාගෙන හිඳිනුයේ පැවසුමට දැයක් තිබේදැ?’යි අසනාහ.

කේවට්ටයනද රජ්ජුරුවන් වහන්සේ කෝපවැ සිටිනුයේ කුමක් හෙයින්දැයි වටහාගත නොහී එකිනෙකාට නියවමින්, “බය බෝයි ස්වාමීනී, තෙල විදිලි මඬුලුපතියා ගම කා ඇති බැව් සැළයැ’යි තටමමින් කියනුයේ රජ්ජුරුවෝ කිසිත් වටහාගත නොහී බලා සිටිනා බැව් දැකැ “අප කීයේ ස්වාමීනී විදිලි පදිනන්දුවා කෝප සබයෙහි හොට පටලවාගෙන ඇති බැව්යැ’යි පවසා, “මා තොටහි වායුබල වෑපුතිය දඹදිව්හි ගෝතමයාට පැවරිය යුත්තේ යැයි මුඩ රජු නුඹ වහන්සේටැ පීඩන කරනා බැව් එකී අපතයා කෝප සබයෙහි පවසා ඇත්තේයැ. නුඹ වහන්සේ පදිනන්දුවාට එසේ පැවසීදැ?’යි අසනායැ. රජ්ජුරුවෝ ද එබැව් අසා මහත් කෝපයෙන් උන්ගේ පැනයට පිළිවදන් නොකොට, “මා හට අනුශාසනා කරනා වූ හැටහුටාමාරක් වන්නා වූ පෙරෙවි බමුණන් කොහිදැ? මුන් මට නිසි උවදෙස් සපයනාහු නම් මා මෙසේ චොර වේදැ? මුන් රජවාසලට පැමිණෙනුයේ වේතන වරදාන ලැබුමට පමණ යැ’යි දන්ත මුෂ්ටි සපමින් ගුගුරනාහ. කේවට්ට දෙබානද මැඩලීන නම් මියැසි සුසර භාණ්ඩයක් සේ දෙගාත්‍රා ලෙලෙවමින්, රජතුමා ඉතිරි තතු ඇසූ කල්හි කෙසේ පරලවැ යාදැයි සිතාගත නොහී ‘අපි කුමක් කෙරෙමුදැ’යි උනුනට මුමුණා ගනිමින් සිටිනා කල්හි රජ්ජුරුවෝ, “තෙපිට තව කීමට යමක් වේදැ?’යි ඇසූ කල්හි උන් බිරාන්තවැ, “අහෝ ස්වාමීනී, මෙකී කතාවට ඈඳුනා වූ දඹදිව්හි නරනිඳ මුඩ රජතුමනට මල පැනැතැයි සැළයැ. එතුමන් එසේ පුෂ්පෝප්‍රාප්තවැ ගොස් ඇත්තේ එදෙස්හි ගන්ධ රාහුලයා නම් විපස් නයුවා මුඩ රජුනට කෝචොක පානා තුවිතරපත් පයිංඩ ජාලගත කරනා හෙයින්යැ’යි පැනය සවිස්තර කොට කියනායැ.

එබස් ඇසූ නන්දසෙන් රජ්ජුරුවෝ මහත් කොවින් අංගනයෙහි ඔබ මොබැ ඇවිදිමින්, “බලව, මෙකී අමන පදිනන්දුවා දැන් රාජ තන්ත්‍ර පැනයෙක් ඇති කැර ඇත්තේයැ. මුහුට කුමක් කළද හිත් වදීදැ?’යි තෙපලනාහ. එබසට එක් කේවට්ටයකු, ‘පෙරකල්හි නම් ධවල රථ සැරියෙක්වත් යැවිය හැක්කේ නොවේදැ’යි කීමට ගොස් මහත් ආයාසයෙන් එවදන් තිරිංග කොට ගෙනැ,‘අනූනවයෙන් ගැලවීගත්තේයැ. ඇබින්දෙන් ධවල රථයෙන් යෑමට වන්නේ මටයැ’යි සිතනා කල්හි අනෙක් කේවට්ටයා, ‘මෙකී කාරණා කවරක්දැ? අප මහරජාණන් පචවැ ගොස් ඇත්තේ මෙසේදැ’යි සිතනායැ. රජ්ජුරුවෝ උවදෙසක් පතා කේවට්ටයන් දෙස බලා සිටිනුයේ උන් කිසිත් නොකියනා බැව් දැකැ “එම්බල තෙපි ගංකබරයින් සේ ඔහේ බලාගෙන සිටිනුයේ මීට පිළියමෙක් පවසව්’ යනුවෙන් අණ කළ කල්හි උන් දෙදෙන එක්වරැම,

“ස්වාමීනී, නුඹ වහන්සේ කිසිවිටෙක මෙබස් නොකී ලෙස තුවිතරපත් පයිංඩයක් ජාලගත කරනු මැනව’යි සුපුරුදු උවදෙස පවසනායැ. රජ්ජුරුවෝද ‘මුන්ගෙන් මීට වඩා උවදෙසක් ගැනුම නම් පුස්සක්මයැ’යි සිතමින්මැ “එසේවත් කරව’යි අණ කළ කල්හි, “රජතුමනි, රටවැස්සන්ගේ හිස මත්තෙහි පතබෑව ඇත්තා වූ වෑසන හමුයේ මෙකී මුඩ පැනය නම් කාරියක්මැ නොමැත්තේයැ’යි පවසමින් අන්තරජාල ගෘහය කරා නික්මෙනායැ.

මෙපවත් මෙසේ සිදුවනුයේ රජසබ මන්දිරයෙහි පිහිටියා වූ කෝප සබ ගෘහයෙහි ආලින්දයෙහි විසල් ස්ථම්භයක් පාමුල උක්කුටිකයෙන් ලැගැ ඉහින් හා කණින් වැගිරෙනා වූ ඩා දිය මුගුරෙන් යුතුවැ හා හිසෙහි ස්වල්ප වූ තඹවන් පැහැ කෙහෙ රොද දෑතින් අදිමින් හැඬුම්බර වුවනෙන් යුතුවැ වරෙක නැගී සිටිමින්ද එසැණින් සිටි තැන්හිමැ යළි උක්කුටිකව හිඳ ගනිමින්ද යළි නැගී සිටිමින්ද මහත් විප්‍රකාර ලෙස හැසිරෙන්නා වූ එක් වයොවෘද්ධ පුරුෂයෙක් දක්නා ලද්දේයැ. වරෙක පියව ඇත්තා වූ කෝප සබ ගෘහ ද්වාරය සමීපයට යෙමින්දැ යළි මෑතට එමින්දැ යළි සංවෘත ද්වාරය විවෘත කරගැනුමට තතනමින්ද නොසන්සුන් ලීලායෙන් එකී පුරුෂයා කරනා වූ ක්‍රියාව සිහිවිකල වූවකු සරිවැ පෙනෙනායැ. මෙවේලායෙහි කෝප සබ ගෘහය තුළ රාජකාරියෙහි යෙදෙනා වූ නිලදරුවන් මෙකී විසුළු හැසිරුම පාරදෘශ්‍ය විහිදුරු ද්වාරය තුළින් දකිනුයේ වහා ද්වාරය විවෘත කොට බලා අසරණ පුරුෂයා දැක විමසූ කල්හි, තුමුනට කෝප සබපතියා බැහැදැකුමට වහා ඇවැසි යැයි හඬමින්මැ පවසනායැ. නිලදරුවෝද තව තතු විමසනුයේ එකී කතාබහ අසා ඇතුළු ගැබින් එළියට පැමිණියා වූ කෝබ සබපති තෙමේ දක්නා වූ පුරුෂයා මහා වර්ෂාවකට හසුවැ දියබත් වූ සැවුලෙකු සේ කබා දෙබෑයන් අත්තටු යුවලෙක් සේ ලෙළවමින් ඉදිරියට දිව විත් සබපතියා පාමුල වැඳ වැටෙනායැ. මේ කවර විලම්බෑසියෙක්දැයි වටහාගත නොහුනු සබපති තෙමේ වයොවෘධයා දෙවුරෙන් අල්වා ඔසොවා උහු මුව බලනුයේ, කවරෙක්දැයි හැඳින, “පදිනන්දයෙනි, තොප මෙසේ උමතුවෙන් හැසිරෙනුයේ කවර හෙයින්දැ?’යි අසනායැ. එවර පදිනන්දයා, “අහෝ සබපතිතුමනි, ඉෂ්ට දේවතාවනි, පෙරදා මා මහරජතුමා සම්බන්ධයෙන් කියූ දෑ සියල්ල මුසා යැ. උන් වහන්සේ මා හා කිසිවක් නොපැවසූයෙහියැ. සාගින්න හා මනස් පීඩන හේතුවෙන් කියන ලද්දා වූ එපුවත් මකා දැමුම පිණිසැ පැමිණියෙම්යැ’යි සෙම් සොටු සූරමින් කියාගෙන යන්නායැ. සබපති තෙමේ මුහු කවරක් කියේදැයි අන්ද මන්දවැ යනුයේ,“අපටද එතුමන් හමුවට ඇවැසියැ. අපටදැ…අපටදැ…’ ආදී ලෙසින් සමූහයෙක් එකවරැ නඟනා ඝෝෂාවෙක් ඉදිරි ආලින්දය දෙසින් ඇසී ඒ කවරක්දැයි බැලු කල්හි නිලදරුවන් පෙරළාගෙන ද්වාරයෙන් ඇතුළු වූ රක්ෂණ, ඖෂධ, පන්දු කෙළි, සංතොස ඈ නේක රාජායතනයන්හි නිලදරුවන් පිරිසක්, “සබපතිතුමනි, පෙරදා කෝප සබ හමුයෙහි අප පැවසූ දෑ සියල්ලද මුසා යැ. අපදැ බෝ පීඩන සන්නිවේශව සිටියාහු වෙම්හ. සාගින්නෙන්දැ සිටියෙමුයැ’යි පවසනේ, “අපදැ… අපදැ.. අපදැ…” යැයි හඬ නගමින් තව පිරිස් වැල නොකැඩී පැමිණෙනු දැකැ කෝප සබපති තෙමේ උඩුකුරුඤ්ඤංවැ යන්නායැ.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment