කෝල්ට්ස් අවසන් මහ තරගයට

123

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බී. ආර්. සී. පිලට එරෙහිව ලකුණු 67 ක ජයක් වාර්තා කළ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හෙට (17 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

වනාතමුල්ල පී. සරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.4 කදී ලකුණු 128 ක් රැස් කිරීමට සමත් වූ අතර එම ඉලක්කය හඹා ගිය බී. ආර්. සී. පිල පන්දුවාර 16.3 කදී ලකුණු 61 කට සීමා කිරීමට කෝල්ට්ස් පන්දු යවන්නෝ සමත්වූහ. කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය පන්දුවාර 3.3 කදී ලකුණු 03 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්වූවේය. ඔහුට අමතරව මුදිත ලක්ෂාන් කඩුලු 2 ක් දවා ගනිද්දී සෙසු පන්දු යැවූ පන්දු යවන්නන් සිව්දෙනාම කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත්වූහ.

කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශාඩ් රන්දික ලකුණු 35 ක් රැස් කිරීම තරගයේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. ඒ හැරුණු විට හෂාන් දුමිඳු (22) සහ රවිඳු රසාන්ත (21) ලකුණු 20 සීමාව ඉක්මවාලීමට සමත් වූහ. ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිත සැරසන්ස් සහ යුද හමුදා අතර තරගයේ ජයග්‍රාහකයන් හෙට පැවැත්වෙන අවසන් මහ තරගයේ කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වනු ඇත.

කෝල්ට්ස් පන්දුවාර 19.4 කදී ලකුණු 128 යි – (විශාඩ් රන්දික 35, රවිඳු රසාන්ත 21, ධනංජය ලක්ෂාන් 13, හෂාන් දුමිඳු 22, දුවිඳු තිලකරත්න 13/2, තිලකරත්න සම්පත් 172, මල්ක මදුසංක 21/2, දුශාන් හේමන්ත 13/2)

බී. ආර්. සී. පන්දුවාර 16.3 කදී සියලු දෙනා දැවී ලකුණු 61 යි – (තිලකරත්න සම්පත් 17, දුශාන් හේමන්ත 12, අකිල ධනංජය 03/3, මුදිත ලක්ෂාන් 18/2)

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment