කෝල් කර කර රේල් පාරේ ගිය තරුණයෝ දෙදෙනා දුම්රියට බිලි

769

වේයන්ගොඩ ඛේදවාචකයක්

දුරකථන ඇමතුමක යෙදෙමින් කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයන් දෙදෙනකු ඊයේ (25 දා) පෙරවරු 5.45 ට පමණ දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි කවිෂ්ක ලක්මාල් නමැති 18 හැවිරිදි තරුණයකු සහ එස්. ඒ. තිවංක නමැති 19 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයන් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යෑමට උදෑසන ම සූදානම් වී වඳුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ පා ගමනින් ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි ශීඝ්‍රගාමී දුම්රියක ගැටී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

දෙදෙනා දුරකථන ඇමතුමක යෙදෙමින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ පිටුපසින් පැමිණි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

නියමිත මාර්ගයේ කොළඹ කොටුව බලා දුම්රියක් ගමන් කරමින් තිබියදී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය පැමිණ ඇත්තේ අනෙක් දුම්රිය මාර්ගයේ බව ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

එම මාර්ගයේ දුම්රියක් නොඑනු ඇතැයි යන විශ්වාසයෙන් තරුණයන් දෙදෙනා ගමන් කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අනතුරෙන් පසු මිය ගිය තරුණයන් දෙදෙනාගේ දේහයන් අනතුර සිදුවූ දුම්රියෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙන එනු ලැබීය.

අනතුර පිළිබඳව වේයන්ගොඩ පොලිසිය අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් මහතා විසින් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා ස්ථානීය පරීක්ෂණය පැවැත්වීමට පියවර ගැනිණි.

මියගිය තරුණයන් දෙදෙනාගේ දේහයන් වතුපිටිවල මූලික රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment