කෝලිත භානු දිසානායකගේ සංසාර සඳවතිය එළිදැක්වීම 18 දා

151

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ මහාචාර්යවරයෙක් මෙන්ම එම විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරන මහාචාර්ය කෝලිත භානු දිසානායකගේ සංසාර සඳවතිය ගීත සමුච්චය එළිදැක්වීමේ උළෙල මෙම මස 18 වැනිදා සවස 3.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

දිගු නිහැඬියාවකින් අනතුරුව මහාචාර්ය කෝලිත භානු දිසානායක විසින් සිංහල ගීත සාහිත්‍යට එක් කරන මෙම ගී සමුච්චයට පර්යේෂණ මූලාශ්‍ර සහිතව නිර්මිත ගීත කීපයක් මෙන්ම ජනප්‍රිය සරල ගීත ආකෘතිය ඔස්සේ කරන ලද නිර්මාණ ගණනාවක් ඇතුළත්ය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියන ආරච්චි මෙන්ම සම්මානනීය ප්‍රවීණ ගී පද රචකයන් වන බණ්ඩාර ඇහැලියගොඩ, මහින්ද දිසානායක, මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, මහාචාර්ය සරත් ඥානසිරි, කපිල කුමාර කාලිංග, බන්දුල නානායක්කාරවසම්, සුමිත්‍ර රාහුබද්ධ මෙන්ම වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ, වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන, චමින්ද උඩවෙල මෙන්ම නවක ගී පද රචකයන් වන චන්ද්‍රවංශ ඥාණසේකර හා දිලානි හේමන්ත ඒකනායක ගේ ගී පද රචනා ඇතුළත් සංසාර සඳවතිය සඳහා මෙරට ප්‍රවීණ සංගීතඥයන් රැසක් සංගීත අධ්‍යක්ෂණය කොට ඇත.

ආචාර්ය රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාර, නාලක අංජන කුමාර, ලක්ෂ්මන් විජේසේකර, තිස්සසිරි පෙරේරා, සරත් ප්‍රනාන්දු, රජිත් ගාමිණී විජේසේකර, අජිත් දර්ශනගේ විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද සංසාර සඳවතිය එළිදැක්වීමට සමගාමීව එදින කෝලිත භානු දිසානායකගේ නිල යු ටියුබ් නාලිකාව ආරම්භ කිරීමට ද නියමිතය. එහිදී සංසාර සඳවතිය ගී සමුච්චයෙහි ඇතුළත් ගීත රූප රචනා සහිතව රසවිඳීමේ අවස්ථාව උදාවනු ඇත.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර යන මහත්වරුන් විසින් දෙසුම් පවත්වනු ලබන මෙම උත්සවයෙහි සංගීතය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ සංගීතඥ මහින්ද බණ්ඩාර විසිනි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සහ මාධ්‍යවේදිනී රන්සි රණසිංහ විසින් උත්සව සභාව මෙහෙයවන මෙම උළෙලේදී සහන මිලට සංසාර සඳවතිය ගිත සමුච්චය මිලදී ගැනීමේ අවස්ථාව ද ඊට සහභාගි වන පිරිසට හිමි වන අතර සිංහල සුභාවිත ගීතය ප්‍රිය කරන රසික ප්‍රජාවට ඒ සඳහා සහභාගි විය හැකි බව සංවිධායක මණ්ඩලය දන්වා සිටී.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment