කෝලි සිවිලිම දිහා බලන් සිටි හැටි

750

විරාත් කෝලි ජාත්‍යන්තර එක් දින තරග වරම් ලැබුවේ 2008 වසරෙදි. එදා කෝලිගේ ප්‍රතිවාදියා වුණේ ශ්‍රී ලංකාව. ඊට පසුව කෝලිගේ හයවන එක් දින ජාත්‍යන්තර තරගය වෙනකම්ම ඔහු තරග වැදුණේ ශ්‍රී ලංකාවට එරෙහිව. හත්වෙනි තරගය වුණේ පකිස්තානයට එරෙහිව තරගයක්. ඒ තරගය පැවැත්වුණේ ශූරයන්ගේ

කුසලාන තරගාවලිය යටතේ. තරගාවලියේ ඉදිරියට යාමට නම් පකිස්තානය එම තරගය ජයග්‍රහණය කළ යුතුම තරගයක් වුණා. මුලින් පන්දුවට පහර දුන් පකිස්තානය ලකුණු 302ක් ලබා ගත්තා. ඉන්දියාව ලකුණු 248කට දැවී ගියා. කෝලි ලබා ගත්තේ ලකුණු 16ක් විතරයි. එම දැවී යාම ඔහුට පසුගිය දා මතක් වුණා.

‘ඒක මම පකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරගය. ලොකු ලකුණු ප්‍රමාණයක් හඹා යනකොට සහීඩ් අෆ්රිඩිගෙ පන්දුවකට මම හුඟක් සවුත්තු පාරක් ගහලා දැවී ගියා. එදා රෑ මට නින්ද ගියේ නැහැ. හෝටල් කාමරයේ ඇඳට වෙලා සිවිලිම දිහා බලාගෙන මම පාන්දර 5 විතර වෙනකම් කල්පනා කළා. මට හිතුණෙ මට ආයේ කවදාවත් ඉන්දියාව වෙනුවෙන් සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා..

කෝලි එදා රෑ නිදිවරාගෙන කල්පනා කළ පරිදි ඔහුට ඊළග තරගය නම් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. හැබැයි ඊට පසුව කෝලි ඉන්දියාවට නැතිවම බැරි වුණා.

කෝලිට වසර ගණනාවක් ඉහත මේ අතීතය මතක් වුණේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සමග පසුගිය ඉරිදා පැවැති තරගයේදී. එහිදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආර්ෂ්දීප් සිං අතින් පහසු උඩ පන්දුවක් ගිලිහී ගියා. ලකුණු හඹා යමින් සිටි පාකිස්තාන කණ්ඩායමේ අසීෆ් අලී ලබා දුන් උඩ පන්දුව තමයි ආර්ෂ්දීප් අතින් ගිලිහී ගියේ. අවසානයේ ඉන්දියාවේ පරාජයට එයද හේතුවක් වුණා. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී එම උඩ පන්දු ගිලිහී යාම පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෝලි ආර්ෂ්දීප් සිංව සනසමින් කතා කළා. ඒවා දැන් සාමාන්‍ය දේවල් බවත්, මෙවැනි තීරණාත්මක තරගවලදි එවැනි දේවල් සිදු විය හැකි බවත් කෝලි පැවසුවා. එදා තමන් කණගාටුවට පත්ව සිටින විට ප්‍රවීණ ක්‍රීඩකයින් තමන්ව අස්වසාලූ අයුරින් මෙදා ආර්ෂ්දීප්වත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් සනසනු ලැබූ බව කෝලි පැවසුවා.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment